නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු කොරියාවෙන් ජනපතිට ඉහළ පිළිගැනීමක්

    නොවැම්බර් 28, 2017
    දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මැතිතුමාගේ ආරාධනයකට අනුව  තුන් දින නිල සංචාරයක් සඳහා අද (28) පෙරවරුවේ සෝල් අගනුවර Incheon ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතා හරසරින් යුතුව පිළිගෙන ඇත.
     
    විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය Cho Hyun සහ ජාතික ආරක්ෂක ප්‍රධානී Chung Eyi-yong මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිගනු ලැබීය. 
     
    විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ අමාත්‍ය දයා ගමගේ මහත්වරුන් ඊයේ (27) දකුණු කොරියාවට පැමිණ ඇති අතර එම අමාත්‍යවරු දෙදෙනා සමග ශ්‍රී ලංකා මහකොමසාරිස් මනීෂා ගුණසේකර මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව තිබේ.  
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් ද දකුණු කොරියාවට ලඟාවී ඇති අතර අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම හා තලතා අතුකෝරල යන මහත්ම මහත්මීන් ඉදිරියේ දී මෙම සංචාරය සඳහා එක්වීමට නියමිතව ඇත.
     
    ඉන් අනතුරුව ජනාධිපතිතුමා නවාතැන් ගන්නා සෝල් නුවර හෝටලයේදී ද ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් විසින් සංවිධානය කර තිබුණි. 
     
    ශ‍්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ආරම්භ කර වසර 40ක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ මෙම සංචාරය සිදුවන අතර, දෙරට අතර පවත්නා සබඳතා සෑම ක්ෂේත‍්‍රයක් තුළින්ම තවදුරටත් ශක්තිමත් කරගැනීම එහි අරමුණයි.
     
    ශ‍්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර ඉතා ඉහළ සබඳතාවක් පවත්නා මෙම අවස්ථාවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මෙම සංචාරය ඉතා සුවිශේෂී බව දකුණු කොරියානු පුවත්පත් විසින් ද අද වාර්තා කර තිබූ අතර, දකුණු කොරියානු අර්ධද්වීපයේ අර්බුදකාරී වාතාවරණය තුළ ශ‍්‍රී ලංකාව විසින් ලබාදුන් සහය පිළිබඳව ද එහිදී කෘතවේදීත්වය පළකර තිබුණි.
     
    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හා දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතා අතර නිල හමුව හෙට (29) දින සිදුවන අතර එහිදි දෙරට අතර සහයෝගීතාවය ඉහල නැංවෙන ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya