නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික වර්ධනය හා පරිසර දූෂණය අවම කිරීම සම්බන්ධ කිරීමේ ක්‍රමවේදයක් සැකසීමට පියවර – ජනපති

    ඔක්තෝබර් 05, 2015

    ආර්ථික වර්ධනය හා පරිසර දූෂණය අවම කිරීම සම්බන්ධ කිරීමේ ක්‍රමවේදයක් සැකසීමට රජය අවශ්‍ය පියවර ගෙන ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (05) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන “ජාතික හරිත සම්මාන 2015” උළෙලට සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    මිනිසා හා සොබාදහම අතර සුවිශේෂී අන්‍යෝන්‍ය සුහදතාවය හා සහජීවනය ඈත අතීතයේ සිට පැවතෙන්නක් බවත් පරිසර පද්ධතියේ ස්වාභාවික සාධක සමග ජීවිතය ගත කරන තරමට මිනිසාට සතුටින් ජීවත් විය හැකි බව විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා සිය පණිවිඩයේ සඳහන් තර ඇත.

     

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ‘ජාතික හරිත සම්මාන – 2015’ උළෙලට නිකුත් කළ සම්පූර්ණ පණිවිඩය මෙසේ ය:

     

    "මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලද ‘ජාතික හරිත සම්මාන – 2015’ උළෙලට මා මෙම සුබ පැතුම් පණිවිඩය එවන්නේ ඉමහත් සතුටිනි.

     

    මිනිසා හා සොබාදහම අතර සුවිශේෂී අන්‍යෝන්‍ය සුහදතාවය හා සහජීවනය ඈත අතීතයේ සිට පැවතෙන්නකි. පරිසර පද්ධතියේ ස්වාභාවික සාධක සමග ජීවිතය ගත කරන තරමට මිනිසාට සතුටින් ජීවත් විය හැකි බව මම තරයේ විශ්වාස කරමි.

     

    මාගේ මැතිවරණ ප්‍රකාශනය තුළ, ‘තිරසාර සංවර්ධනය’ අවධාරණය කළේ ජනප්‍රිය සංකල්පයක් ලෙස නොව ඒ පිළිබඳ වූ පූර්ණ කැපවීමක් ලෙස ය. ඒ අනුව ආර්ථික වර්ධනය හා පරිසර දූෂණය අවම කිරීම සම්බන්ධ කිරීමේ ක්‍රමවේදයක් සැකසීමට මගේ රජය අවශ්‍ය පියවර ගෙන ඇත.

     

    පාරිසරික ව්‍යාපාරයට නායකත්වය දීම සඳහා නියමුවන් ආකර්ෂණය කර ගැනීමට මෙන්ම හරිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම උදෙසා මධ්‍යම පරිසර අධිකාරිය විසින් ‘ජාතික හරිත සම්මාන – 2015’ සඳහා ‘හරිත දේශයක් – මිතුරු පරිසරයක්’ යන තේමාව යටතේ සම්මාන වැඩසටහනක් දියත් කරනු ලැබීම ප්‍රශංසනීය ය.

     

    පාරිසරික ක්‍රියාකාරීත්වයන් අධීක්ෂණය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ යන්ත්‍රණය සමඟ සියලු කර්මාන්තකරුවන් හා ආයතන එක් වී සිටීම සතුටට හේතුවකි.

     

    සියලු සම්මානලාභීන්ට සුබ පතන මම තිරසාර සංවර්ධනය වෙත ගමන් කරන හරිත කර්මාන්තය සඳහා වූ ඔවුන්ගේ දායකත්වය අගය කරමි. ‘ජාතික හරිත සම්මාන – 2015’ සම්මාන උළෙල සියලු සාර්ථකත්වයන් අත් කර ගනීවා’යි මම ප්‍රාර්ථනා කරමි."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya