රාජ්‍ය නායකයෙකු වසර 20 කට පසු කොළඹ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත පොලිස් නිළධාරින්ගේ නිල නිවස වෙත පැමිණි ප්‍රථම අවස්ථාව සිනිටුහන් කරමින් පොලිස් නිල නිවස වෙත ගිය ජනාධිපතිතුමා නිළධාරින් විසින් ඉතා ගෞරවයෙන් පිළිගනු ලැබීය.
අනතුරුව ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක නිරත විය.
පොලිස් දෙපාර්තමේන්තුව තුළ මතුව ඇති ගැටලූ පිළිබද මෙහිදි නිළධාරින් ජනාධිපතිතුමා වෙත කරුණු පෙන්වා දුන් අතර සිදු විය යුතු වෙනස්කම් පිළිබදවද යෝජනා සහ අදහස් රැසක් ඉදිරිපත් කළහ.
පොලිස් නිළධාරින්ගේ උසස්වීම් පිළිබද ගැටලූ, නේවාසික ගැටලූ මෙන්ම වැටුප් ප්‍රශ්ණ පිළිබදවද ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරිණි.
මෙම සියලූ කරුණු වලට ඉතා සාවදානව සවන් දුන් ජනාධිපතිතුමා මෙම සියලූ කරුණු කඩිනම් විසදුම් ලබාදිය යුතු සාධාරණ කරුණු ලෙස තමා සලකන බවත් මාසයක් වැනි කෙටි කාලයක් තුළ පියවරෙන් පියවර එම ගැටලූ වලට විසදුම් ලබාදීමට පියවර ගන්නා බවත් පැවසීය.
දේශපාලන බලපෑමකින් තොරව රාජකාරි ඉටු කිරීමේ උපරිම තෘප්තිය අත්විදීමට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පොලිස් දෙපාර්තමේන්තුවට අවස්ථාව ලැබුණු බව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා මෙහිදී ප්‍රකාශ කළේය. එම පසුබිම උදාකරදීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවයත්, ස්තූතියත් ජනාධිපතිතුමා වෙත පිරිනමන බව පොලිස්පතිවරයා සදහන් කළේය.
නීතිය, සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර යන මහත්වරුන්ද සාකච්ඡාවට එක්ව සිටියහ.