මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පරිගණක සාක්ෂරතාව පිළිබඳ සමීක්ෂණයක් ලබන 07දා

    නොවැම්බර් 05, 2014

    පාසල් ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පරිගණක සාක්ෂරතාව පිළිබඳ සමීක්ෂණයක් සහ පාසල්වල පරිගණක පහසුකම් පිළිබඳ සංගනණයක් ලබන 07දා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සැලසුම් කර තිබේ.


    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහය ඇති ව මෙම සමීක්ෂණය සිදු කෙරෙන අතර තොරතුරු සාක්ෂරතාවට දිවයිනේ සියලු ම පාසල් සූදානම් ද යන්න පාදක කරගනිමින් දිවයිනේ සියලු ම පාසල් ඇතුළත් වන පරිදි පාසල්වල පරිගණක පිළිබඳ සංගනණය පැවැත්වේ.

    ගුරුවරුන්ගේ හා සිසුන්ගේ පරිගණක සාක්ෂරතාව පිළිබඳ සමීක්ෂණය දිස්ත්‍රික්ක අනුව පාසල් ජනගහනය සහ පාසල් වර්ගීකරණය අනුව ශිෂ්‍යයින් හා ගුරුවරුන් තෝරා ගැනීම සිදු වේ. 1-5 ශ්‍රේණිවල ශිෂ්‍ය ජනගහනයෙන් 2%ක්, 6-13 ශිෂ්‍ය පරිගණකයෙන් 5%ක් හා ගුරුවරුන්ගෙන් 10%ක් ඇතුළත් වන ආකාරයෙන් සංඛ්‍යාවිද්‍යාවෙහි විශේෂ නියැදි ක්‍රමයක් ඔස්සේ මෙම සමීක්ෂණය සිදු කරනු ලබයි.

    මේ පිළිබඳ සියලු ම පළාත් සහ කලාප අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළු පවත්වා ඇති අතර මීට අදාළ උපදෙස් පත්‍රිකා මේ වන විට සියලු ම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මඟින් පාසල් වෙත යැවීමට කටයුතු යොදා ඇත. ගුරුවරුන්ගේ පරිගණක සාක්ෂරතාව පිළිබඳ සමීක්ෂණයක් 2006 වසරේ පවත්වා ඇති අතර ශිෂ්‍යයින්ගේ පරිගණක සාක්ෂරතාව සහ පාසල්වල පරිගණක පහසුකම් පිළිබඳ සංගණනයක් පවත්වන්නේ ප්‍රථම වරටයි.  

    මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩසටහන යටතේ අද්‍යතන ලෝකයට ගැළපෙන අයුරින් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව ඉහළ මට්ටමට ගෙන ඒමට කටයුතු කර තිබේ. 2016 වර්ෂය වන විට 60% දක්වාත් 2020 වන විට එය 75% දක්වාත් ඉහළ නැංවීමේ අපේක්ෂාවෙන් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 1000ක් ප්‍රතිනිර්මාණය කිරීමේ දැවැන්ත අධ්‍යාපනික හැරවුම තුළින් අධ්‍යාපන පද්ධතියට පරිගණක 40කින් සමන්විත පරිගණකාගාර 1000ක් ස්ථාපිත කර තිබේ. මෙහිදී දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහා ම ද්විතීයක පාසල් 3ක් ප්‍රතිනිර්මාණය වන අතර පෝෂක පාසල් ඒ හා සම්බන්ධවීම තුළින් විශාල දරුවන් පිරිසකට එහි ප්‍රතිලාභ භුක්ති විදීමට අවස්ථාව ලැබේ. රජය තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම සඳහා  විශාල අයෝජනයක් සිදු කර තිබේ.

    මේ අනුව පරිගණක විද්‍යාගාර ඉදිකිරීම, පරිගණක හා උපාංග සැපයීම, අන්තර්ජාල පහසුකම් ලබාදීම, අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ වෙබ් අඩවි පවත්වාගෙන යාම, මෘදුකාංග අධ්‍යාපන ද්‍රව්‍ය සකස් කිරීම, ගුරුවරුන් බඳවා ගැනීම හා පුහුණු කිරීම, සිසුන් සඳහා විශේෂ පරිගණක පුහුණු වැඩසටහන් පැවැත්වීම යනාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.

    මෙම සමීක්ෂණය තුළින් පාසල් පද්ධතිය තුළ පරිගණක සාක්ෂරතාව පිළිබඳ සම්පූර්ණයෙන් සකස් කිරීමට අපේක්ෂා කරන අතර එය ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී කාලීන අවශ්‍යතාවක් ද වේ. 


    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya