මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ජන සෙවණ ” නිවාස වැඩසටහනට දකුණු කොරියාවේදී රටවල් රැසක ප්‍රසාදය

    නොවැම්බර් 04, 2014
    ශ්‍රී ලංකාවේ “ ජන සෙවණ ” ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන රටවල් රැසක ප්‍රසාදයට හා ඇගයීමට ලක් වේ. “ ජන සෙවණ ” නිවාස  වැඩසටහන මෙසේ ඇගයීමට ලක් වූයේ දකුණු කොරියාවේ සෝල් නුවර දී ඊයේ (03) ආරම්භ වූ පස්වෙනි ආසියා ශාන්තිකර නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යවරුන්ගේ සමුළුවේදී ය. 
     
    එම සමුළුවට සමගාමීව විශේෂ ක්‍රියාකාරී කමිටු රැස්වීමක් පැවත්වුණේ ශ්‍රී ලංකාවේ ප්‍රධානත්වයෙනි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමුළුවට සහභාගී වී සිටින ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ක්‍රියාකාරී අනුකමිටු රැස්වීම පැවැත්වුණු අතර  “ සර්ව සම්පූර්ණ නාගරික සංවර්ධනයක් කරා ” (Inclusive Urban Development) යන මාතෘකාව යටතේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ ද විමල් වීරංවශ අමාත්‍යවරයා විසිනි.
     
    ජනාවාස සංවර්ධනයේ දී විදුලිය, ජලය ලබාදී යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මූලික වගකීමක් ලෙස ක්‍රියාකිරීමේ වැදගත්කම පෙන්වාදුන් විමල් වීරවංශ අමාත්‍යවරයා කියා සිටියේ සර්ව සම්පූර්ණ නාගරික සංවර්ධනයක් කරා යාමේදී එය ඉතා වැදගත් වන බවයි.
     
    දකුණු ආසියානු කලාපයේ ජනගහනයට සාපේක්ෂව වැඩිම ස්ථීර නිවාස සංඛ්‍යාවක් හා අවම පැල්පත් සංඛ්‍යාවක් තිබෙන්නේ ශ්‍රී ලංකාවේ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 2011 වසරේ ජන හා නිවාස සංගණන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත නිවාස තොගය 5,195,331කි. මින් ස්ථීර නිවාස ප්‍රමාණය 4,476,442කි.  ( උළු, ඇස්බැස්ටෝස්, කොන්ක්‍රීට් සෙවිළි කළ )  එය සමස්ත නිවාස සංඛ්‍යාවෙන් 82%කි. මේ අනුව ස්ථීර නිවසක අවශ්‍යතාව ඇති පවුල් සංඛ්‍යාව 123,370කි. 
     
    මේ වන විට කොළඹ නගරයේ අඩු පහසුකම් ජනාවාසවල  ජීවත්වන පවුල් සඳහා නව මහල්  නිවාස ලබාදීමේ වැඩසටහන සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බවත් පවුල් 20,000කට ආසන්න ප්‍රමාණයකට නව නිවාස ලබාදෙමින් සිටින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
     
    ජන සෙවණ නිවාස වැඩසටහන මේ වන විට අත්පත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ ව අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ජන සෙවණ වැඩසටහන ආරම්භ කිරීමට පෙර වර්ෂයකට ඉදිකෙරුණු  නිවාස සංඛ්‍යාව ලක්ෂයක් පමණ වූ අතර ජන සෙවණ නිවාස වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු නිවාස වැඩසටහන් සඳහා ජනතාව දැක්වූ උනන්දුවත් සමඟ මේ වන විට වසරකට ඉදිවන මුළු නිවාස සංඛ්‍යාව ලක්ෂ 04 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.
     
    අඩු ආදායම්ලාභී ජනතාවට නිවාස ඉදිකර ගැනීම සඳහා රාජ්‍ය බැංකු සම්බන්ධ කරගෙන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කරගෙන යනු ලබන නිවාස වැඩසටහන් සහ ජන සහභාගීත්වයෙන් සිදුකෙරෙන නිවාස වැඩසටහන් පිළිබඳ ව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    නිදහසින් පසු සෑම වර්ෂයක ම පාහේ  5% ත් 6% ත් අතර පැවති ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධන වේගය 2012 වසරේ සිට 22% ඉක්මවා තිබෙන බවත් රටේ ඇති වූ සාමකාමී පරිසරයත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රය අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය ගැන ද අමාත්‍යවරයා විසින් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරන ලදී.
     
    දැනට සකස් කර ඇති ජාතික නිවාස ප්‍රතිපත්තිය හා ඉදිකිරීම් සංවර්ධන පනත පිළිබඳවත් එමඟින් රටේ නිවාස සංවර්ධනයට හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයට ගෙන ඇති පියවරයන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදී.
     
    එම අවස්ථාවට සහභාගී වූ රටවල් රැසක නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරුන් සහ නියෝජිතයන් කියා සිටියේ ජන සෙවණ නිවාස වැඩසටහන, නිවාස ණය ලබාදීමේ වැඩසටහන හා ජන සහභාගීත්වයෙන් සිදුකෙරෙන නිවාස වැඩසටහන් ඉතා යහපත් ඒවා බවයි. එම වැඩසටහන් තම රටවල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද එම රටවල අමාත්‍යවරු හා නියෝජිතයෝ මෙහිදී පැවසූහ.
     
    ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නිවාස) කේ.ඒ. තිලකරත්න, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති නීතිඥ පාලිත ගමගේ, දකුණු කොරියාවේ ශ්‍රී ලංකාවේ තානාපති තිස්ස විජේරත්න යන මහත්වරු ද අමාත්‍යවරයා සමඟින් මෙම අවස්ථාවට සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya