මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අක්ෂි සේවය සඳහා රජය වසරකට බිලියනයක පමණ මුදලක් වැය කරයි

    ඔක්තෝබර් 10, 2014
    අක්ෂි සේවය සඳහා රජය වසරකට රුපියල් බිලියනයක පමණ මුදලක් වැය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හා විෂන් 2020 වැඩසටහනේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය පී.ජී. මහීපාල මහතා ඊයේ (09) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.
     
    සෑම වසරකම ඔක්තෝම්බර් දෙවන බ‍්‍රහස්පතින්දා දිනය ලෝක දෘෂ්ටි දිනය ලෙස නම් කර ඇති අතර මෙවර ලෝක දෘෂ්ටි දිනය ඊයේ දිනට යෙදී තිබුණි. "ඇසේ සුද නිසා ඇතිවන අන්ධභාවය වළක්වමු" යන්න මෙවර තේමාව ලෙස නම් කර ඇත.
     
    ලෝක ප‍්‍රජාවගේ අවධානයට යොමු කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය හා IAPB ජාත්‍යන්තර සංවිධානය එක්ව අන්ධභාවය වළක්වා ගැනීමේ අරමුණින් එම දිනය නම් කර තිබේ.
    ලෝක ජනගහනයෙන් මිලියන 39කට වැඩි පිරිසක් අන්ධභාවයෙන් හා මිලියන 285ක් පමණ ඇස් පෙනීමේ දුර්වලතාවලිනුත් පීඩාවිඳිති. අන්ධභාවයට පත්වන ප‍්‍රධාන හේතූ සාධක අතුරින් ඇසේ සුද ඇතිවීම නිසා 50%ක් අන්ධභාවයට පත් වේ. ශ‍්‍රී ලංකාව තුළ ලක්ෂ 02කට වැඩි ළමා හා වැඩිහිටියන් ප‍්‍රමාණයක් අන්ධභාවය නිසා පීඩාවිඳිනු ලබන අතර 1,25,000ක් පමණ ඇසේ සුද නිසා අන්ධභාවයට පත්වනු ඇත. 
     
    ශ‍්‍රී ලංකාව තුළ අන්ධභාවය වළක්වා ගැනීම සඳහා අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් 60කට වැඩි ප‍්‍රමාණයක් හා අක්ෂි තාක්ෂණවේදීන් 150ක් පමණ දිවයින පුරා ප‍්‍රධාන රජයේ රෝහල්වල සේවය කරනු ලබති. ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයේදී භාවිත කරනු ලබන කාචයන් ඉහළ මිල ගණනන්වලින් යුක්ත බැවින් බොහෝ රෝගීන් ඇසේ සුද සඳහා වන ශල්‍යකර්මයන්ට යොමු නොවනු ඇත. ඒ හේතුවෙන් ඔවුන් අන්ධභාවයට පත්වීම තුළින් ඒ අයගේ පවුල්වලට මෙන් ම රටට ද ලැබිය යුතු ශ‍්‍රම සම්පතෙහි අහිමිවීමක් සිදු වේ. 
     
    වළක්වා ගත හැකි අන්ධභාවය 100%ක් වළක්වා ගැනීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් "විෂන් 2020" වැඩසටහන ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන හරහා අක්ෂි ඒකක වැඩිදියුණු කිරීම, කාචයන් මිලදී ගැනීමට නොහැකි රෝගීන්ට කාච නොමිලේ ලබාදීම හා පාසල් ළමුන් හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දිවයින පුරා ක‍්‍රියාත්මක කර තිබේ.
     
    මෙම වැඩසටහන යටතේ මේ වන විට පාසල් ළමුන් 50,000කට පමණ නොමිලේ ඇස්කන්නාඩි ලබාදීමට ද කටයුතු කර ඇත. මෙම විෂන් 2020 වැඩසටහන යටතේ සෑම වසරකම දානපතියන්, පුද්ගලික ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන හරහා රුපියල් මිලියන 60ක මුදලක් එකතු කරනු ලබයි. 
     
    මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා විෂන් 2020 වැඩසටහනේ ඇසේ සුද වැළැක්වීමේ අංශයේ, විශේෂඥ වෛද්‍ය කලා සිවයෝගනාදන් හා අක්ෂි වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ලලිතා සෙනරත් යන මහත්මීන් ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.
     
    NDH/sk-cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya