මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණය කුමක් වුවත් සන්ධානයට විශිෂ්ට ජයක්

    ඔක්තෝබර් 08, 2014
    එළැඹෙන මැතිවරණය කුමක් වුවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ට ජයක් වාර්තා කරන බවත්, එය වැළැක්වීමට කිසිදු බලවේගයකට නොහැකි බවත්,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ නියෝජ්‍ය සභාපති, විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.
     
    ඉදිරි මැතිවරණය ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් වුවද, ඒ කුමන මැතිවරණයක් පැවතියත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අභියෝගයක් නොවන බවයි. එහෙත් අර්බුද රැසක් මත දුවන එක්සත් ජාතික පක්ෂය දැනටමත් පරාජය පිළිගෙන රජයට එරෙහි ව විවි‍ධ පදනම් විරහිත චෝදනා නඟමින් ජනතාව නොමඟ යැවීමේ අපකීර්තිමත් ක්‍රියාවලියක නිරත ව සිටින බවද අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියාය.   
     
    අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව කියා සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක "රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම" වැඩසටහනේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෝමාගම කාන්තා බලමණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෝමාගම ආසන සංවිධායක අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සංවිධානය කළ මෙම කාන්තා නියෝජිත සම්මේලනය පසුගිය දින හෝමාගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දී පැවත්විණි. මේ සඳහා  කාන්තාවෝ 2000ක් පමණ සහභාගී වී සිටියහ.
     
    "ඌව පළාත් සභාව අපි පැහැදිලි ජයග්‍රහණයක් ලැබුවා, එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රික්ක දෙකේ ම බරපතළ විදිහට පැරදුණා. පළාත් සභාව අපි පිහිටෙව්වා. යූ.එන්.පී. එක පරාදයි. මැතිවරණයක් තිබුණ ම, බලන්නෙ ජයග්‍රහණය පරාජය කාටද කියල. යූ.ඇන්.පී. එක මේ මැතිවරණයේදී දාන්න තියන සියලු සෙල්ලම් දැම්මා, සියලු උපායන් දැම්මා. අපි දන්නවා යූ.ඇන්.පී. එක ඇතුළේ ගෝරි ගොඩයි. ඒ අය මොන උපක්‍රම දැම්මත් යූ.එන්.පී. එක පැරදුණා. බදුල්ල, පස්සර ආසනය අපිට කාලයක් ම අහිමි වෙලා තිබුණ ආසනයක්, ඒ වුණත් පස්සර අපි දිනුවා. පරාජය දරාගන්න බැරි ව අද එක්සත් ජාතික පක්ෂය බරපතළ විදියට නොයෙකුත් කටකතා, මතවාද, බොරු පතුරුවමින් ජනතාව නොමඟ යවන්න උත්සාහ කරනවා".
     
    "අපි එක්සත් ජාතික පක්ෂයට කියන්නේ ඊළඟ මැතිවරණය ජනාධිපතිවරණය වෙන්න පුළුවන්, මහ මැතිවරණය වෙන්න පුළුවන්. ජනාධිපතිවරණයක් ආවොත් ඒ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්තයා 27 වෙනි වතාවටත් පරදින එක කිසිවෙකුට නවත්වන්න බැහැ කියන එක පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන".
     
    "ඇමරිකා එක්සත් ජනපදයේ නායකයා ඔබාමා, ශ්‍රී ලංකාවට එරෙහි ව චෝදනාවක් ගේනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයට 2012  වසරේ යුද්ධය අවසන් කාලසීමාවේ ලංකාවේ මානව හිමිකම් කඩවුණයි කියලා. 2013 වසරේදීත් ඇමරිකාවේ නායකයා ලංකාවට එරෙහිව යූ.එන්. එක හමුවට චෝදනාවක් ගේනවා, යුධ අපරාධ කළයි කියලා. ඩේවිඩ් කැමරන් එංගලන්ත අගමැතිවරයා ලියුමක් ලියනවා ලෝක නායකයන්ට මානව හිමිකම් කවුන්සලයේදී ලංකාවට එරෙහි ව ඡන්දය දෙන්න කියලා. ඇයි ඇමරිකාව, එංගලන්තය මේ ආකාරයට ලංකාවට එරෙහි ව එක්සත් ජාතින්ගේ සංවිධානයට යෝජනා ගේන්නේ. එහෙම යෝජනා ගේන්නේ දෙමළ ඩයස්පෝරාවේ උවමනාවටයි. ඒ රටවල සමහර ප්‍රාන්තවල මැතිවරණවලදී දෙමළ ඩයස්පෝරාවේ ඡන්දය තමයි තීරණාත්මක ඡන්ද වෙන්නේ. එල්.ටී.ටී.ඊ. ඡන්ද ලක්ෂ ගාණක් තියෙනවා".
     
    "මුළු ආසියාවේ ම ආර්ථික වර්ධන වේගය වැඩි ම දෙවැනි රට ලංකාව බවට පත්කරන්න අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට හැකිවුණා. අද අපේ රට නැගිටිනවා, සිංගප්පූරුව නැගිට්ටා වගේ, මැලේසියාව නැගිට්ටා වගේ ඊටත් වඩා වේගයෙන් අද මව්බිම නැගිටිමින් තියෙනවා. මරණ භය තුරන්වෙලා තියෙනවා. ඒ කාලකණ්ණි අඳුරු අතීතය නැවත ලංකාවට උරුමවෙන්න ඉඩතියන්නේ නැතුව මේ ඉදිරි මැතිවරණයේ දී ඒ ඓතිහාසික වගකීම හදවතට දරාගෙන අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් මව්බිම රැකගැනීමේ සටනට එක්වෙන්න කියලා ඔබ සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා" යැයිද වන්නිආරච්චි මහත්මිය කියා සිටියාය.
     
    මෙම කාන්තා නියෝජිත සම්මේලනය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කමලා රණතුංග, ආර්. දුමින්ද සිල්වා, ජානක බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයන් පිරිසක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ  සාමාජිකාවෝ රැසක් සහභාගී වී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya