බුදුන් වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමට සෙවණ දුන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අභියසදී ධජයන් ආශිර්වාද ගැන්වීමට ප්‍රථම යුද හමුදාවට ආශිර්වාද ලබා ගැනීමේ ආගමික උත්සවය අරඹමින් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායකගේ ප්‍රධානත්වයෙන් ‘ශාරීරික ධාතූන් වහන්සේ’ වැඩසිටින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ද යුද හමුදා ධජයන් ආශිර්වාද ගැන්වීම සිදු කෙරිණි.
වර්ණවත් ඇඳුමින් සැරසුණු යුද හමුදා සංස්කෘතික කණ්ඩායමේ හේවිසි සහ මඟුල් බෙර වාදන මධ්‍යයේ මේ කාර්යය සිදු කෙරිණි. මේ අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කටයුතු කරන ලද්දේ ද යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතාය.
ආගමික වැඩසටහන ආරම්භ කරමින් උඩමළුවේ දී යුද හමුදාපතිවරයා විසින් අටමස්ථානාධිපති හා උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය පල්ලේගම සිරිනිවාසාභිධාන නායක ස්වාමීන් වහන්සේ වෙත වත්පිළිවෙත්වලට අනුව යමින් දැහැත් වට්ටිය පිළිගන්වා ආශිර්වාද ගැන්වීමේ වතාවත් ඉටු කිරීමට ආරාධනා කරනු ලැබීය.
යුද හමුදා මූලස්ථානය, ස්වෙච්ඡා බලසේනා මූලස්ථානය, ආරක්ෂක සේනා මූලස්ථාන, ඉදිරි නඩත්තු ප්‍රදේශ, සේනාංක, කාර්යසාධක බලකායන්, ප්‍රදේශ මූලස්ථාන, උප ප්‍රදේශ මූලස්ථාන, බලසේනා, රෙජිමේන්තු, ඒකක සහ යුද හමුදා පුහුණු පාසල්හි ධජයන් රැගෙන වැලි මළුවේ සිට තෙවරක් ප්‍රදක්ෂිණා කොට මැද මළුවට පැමිණි අතර යුද හමුදාපතිතුමා විසින් ජය ශ්‍රී මහා බෝ මළුවේ මෙම ධජයන් ආශිර්වාද ලබා ගනු පිණිස තැන්පත් කරනු ලැබීය.
යුද හමුදා ධජය, සියළු රෙජිමේන්තු ධජයන් සහ අනෙකුත් ක්ෂේත්‍ර ධජයන් සංකේතාත්මක ව ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ බෝධි පාමුල හිදුවා දහස් ගණනක් පිච්ච මල් හා නෙළුම් මල් ඒ මත අතුරා සෙත් පිරිත් සඡ්ඤායනා කරමින් මෙම ආශිර්වාද ගැන්වීම සිදු කෙරිණි. මෙහිදී මහා සංඝරත්නය විශේෂ අනුශාසනාවක් ද කළහ.
මහා සංඝරත්නයේ උන්නතිය හා ආරක්ෂාව උදෙසා මහඟු කාර්යභාරයක් ඉටුකරන මෙම බෞද්ධ මධ්‍යස්ථානය වෙත ලුතිතන් ජෙනරාල් දයා රත්නායක විසින් මුදල් පරිත්‍යාගයක් කළ අතර අටපිරිකර සමඟින් එම මුදල අටමස්ථානාධිපති නායක ස්වාමින් වහන්සේ විසින් පිළිගන්නා ලදී.
1949 ඔක්තෝබර් ස්ථාපිත කරන ලද යුද හමුදාව මේ වන විට ස්වෙච්ඡා ඒකකයන් ද ඇතුළත් ව රෙජිමේන්තු 24කින් සමන්විතව පවතී. 2009 වසරේ ත්‍රස්තවාදය පරාජය කරමින් ලැබූ විජයග්‍රහණයෙන් අනතුරුව යුද හමුදාව මේ වන විට ජාතිය ගොඩනැංවීමේ සංවර්ධන ක්‍රියාදාමයේ නිරතව සිටී.
මෙම අවස්ථාව සඳහා අනුරාධපුර ශ්‍රී ජයන්ති විහාරයේ විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ, රුවන්වැලි මහා සෑයේ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ, ලංකාරාමාධිපති පූජ්‍ය රලපනාවේ ධම්මජෝති ස්වාමීන් වහන්සේ, මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානරතන ස්වාමීන් වහන්සේ, ඉසුරුමුණිය සහ අභයගිරිය විහාරාධිපති ස්වාමින් වහන්සේලා ජය ශ්‍රී මහා බෝධිය වෙත වැඩම කොට සිටියහ.
මෙම අවස්ථාව සඳහා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු විශාල පිරිසක් සහභාගී වූහ.
SDF/army media