මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදාවේ ප්‍රථම පරිසර හිතකාමී නිවහන යක්කලදී විවෘත කරයි Featured

    ඔක්තෝබර් 02, 2014

    තිස් වසරක් පුරාවට අප රටේ පැවතුණ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීම සඳහා දිවි හිමියෙන් සටන් වැද ආබාධිත තත්ත්වයට පත්වූ අභීත රණ විරුවන් වෙනුවෙන් යක්කල රණ විරු ඇපරල් ඒකකයේ ඉදිකරන ලද ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රථම රණ විරු පරිසර හිතකාමී නිවහන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, රණ විරු ඇපරල් කළමනාකරණ මණ්ඩලයේ සභාපති, මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතාගේ ආරාධනයෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා පසුගියදා විවෘත කෙරිණි.



    කාමර 10කින්, කෑම ශාලාවකින්, විසිත්ත කාමරයකින්, විවේක අවස්ථාවලදී විනෝදයෙන් ගත කළ හැකි අංශයකින් හා ආබාධිත සෙබළුන් සඳහා වන කාමරයකින් යුක්තව මහල් තුනකින් සමන්විතව හරිත සංකල්පයට අනුව ඉදිකරන ලද මෙම පරිසර හිතකාමි නිවහන ශීඝ්‍රයෙන් දියුණුවෙමින් පවතින රණ විරු ඇපරල් කර්මාන්ත ශාලාවේ සේවය කරන නිලධාරීන් හා සෙසු නිලයන්ගේ දීර්ඝ කාලීන අවශ්‍යතාවක්ව පැවතිණ.
     
    මෙම රණ විරු ඇපරල් කර්මාන්ත ශාලාවේ කළමනාකරණ මණ්ඩලයේ හිටපු සභාපතිවරයා වන වර්තමාන යුද හමුදාපතිවරයා විසින් 2012 වර්ෂයේ දෙසැම්බර් 22 දින මෙම නිවස්නය ඉදිකිරීම සඳහා මුල්ගල තබනු ලැබීය.
     
    මෙදින විවෘත කිරීමේ උත්සවය සඳහා පැමිණි යුද හමුදාපතිවරයා මෙම රණ විරු ඇපරල් ආයතනයේ සේනාවිධායකවරයා වන බ්‍රිගේඩියර් ඊ.එම්.ඊ. වික්‍රමනායක මහතාගේ ආරාධනයෙන් සෙත් පිරිත් සඡ්ඤායනා මධ්‍යයේ මෙහි සවිකර තිබූ එලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව නිලධාරී නිවස්නයෙහි ඇති පහසුකම් පිළිබඳ ව සොයා බැලූ අතර රණ විරු ඇපරල් ආයතනයේ ඉදිවන නව පිහිනුම් තටාකය ඇතුළු ස්ථාන රැසක නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය.
     
    වරලත් වාස්තු විද්‍යාඥ, මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උපේන්ද්‍ර රාජපක්ෂ සහ කපිතාන් අමිල ගුණවර්ධන යන මහත්වරුන් විසින් මෙහි ගෘහ නිර්මාණය සකසා ඇත්තේ හරිත සංකල්පය අනුව වඩාත් පරිසර හිතකාමී ලෙසයි. පිටත ඇති උෂ්ණත්වය නිවස්නය ඇතුළට නොඑන පරිදි මෙය නිර්මාණය කර ඇති නිසා නිවස්නය ඇතුළත සිසිල් වේ.
     
    මෙහිදී යුද හමුදාපතිවරයා විසින් ආචාර්ය උපේන්ද්‍ර රාජපක්ෂ මහතාට ඔහු මෙම නිවස්නය හරිත සංකල්පයට අනුව ඉදිකිරීමට කළ කැපවීම සහ මෙහෙය වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් ද පිරිනමන ලදී.
     
    ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පැවති යුදමය තත්ත්වය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ සෙබළුන් පුනරුත්ථාපනය කර වෘත්තීය පුහුණුවක් ලබාදීමේ අරමුණින් යුතු ව යක්කල රණ විරු ඇපරල්ස් ආයතනය 1996 වර්ෂයේ ආරම්භ කර ඇත. මෙහි ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය සියලු නිල ඇඳුම් නිෂ්පාදනය කරනු ලබන්නේ උතුරු නැගෙනහිර යුද්ධයෙන් විවිධ ආබාධයන්ට ගොදුරු වූ ආබාධිත රණ විරුවන් විසිනි.
     
    යක්කල ප්‍රදේශයේ දානපතියෙකු වූ ඩේවිඩ් මෙරික් පීරිස් මහතා විසින් මේ සඳහා ඉඩම් අක්කර 05ක ප්‍රමාණයක් නොමිලේ පරිත්‍යාග කළ අතර තවත් අක්කර 05ක ප්‍රමාණයක් සුළු මුදලකට මිලදී ගෙන ඇත.
    විවිධ ශාරීරික ආබාධයන්ට ගොදුරු වූ සොල්දාදුවන් 60 දෙනෙකුගෙන් දායකත්වයෙන් මහන මැෂින් 25ක් උපයෝගී කරගෙන 1997 අගෝස්තු 23 ප්‍රථම වරට මෙහි ඇඳුම් නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇත.
     
    මෙහි නිෂ්පාදනයට අවශ්‍ය මිනිස් ශ්‍රමය ආබාධිත සොල්දාදුවන්ගෙන් තෝරා ගෙන ඔවුන්ට ඇඟලුම් ක්ෂේත්‍රය පිළිබඳ පුහුණුව ලබා දී බඳවා ගෙන ඇත. මේ වන විට මෙහි මැෂින් 269ක් ක්‍රියාකරන අතර නිලධාරීන් 17ක්, සෙසු නිලයන් 849ක් සේවය කරති.
     
    මේ වන විට ඇඟලුම් ක්ෂේත්‍රයට ආවේණික නවීන තාක්ෂණයෙන් යුතු නවීන ක්‍රමෝපායන් උපයෝගී කරගනිමින් ගුණාත්මක භාවයෙන් යුතු උසස් නිල ඇඳුම් මෙහි නිෂ්පාදනය කරන අතර එය දිනකට 1080ක් පමණකි. එය සමස්ත යුද හමුදාවේ වාර්ෂික නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 65%කි. මේ වන විට රණ විරු ඇපරල් ආයතනයේ වත්කම්වල මුළු වටිනාකම රුපියල් මිලියන 1257කි.
     
    මෙම අවස්ථාව සඳහා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ, පුනරුත්ථාපන අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ඉසෙඩ්. වික්‍රමරත්න, රණ විරු ඇපරල් ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඊ.එම්.ඊ. වික්‍රමනායක, විශ්‍රාමික යුද හමුදාපතිවරුන් ඇතුළු යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගී වූහ.
     
    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya