මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරු දැරියන්ගේ අයිතිවාසිකම් කිසිදු අයුරකින් කප්පාදු කිරීමට ඉඩ දෙන්නේ නෑ Featured

    ඔක්තෝබර් 02, 2014
    රටේ අනාගතය භාර ගැනීමට සිටින දරු දැරියන්ගේ අයිතිවාසිකම් කිසිදු අයුරකින් කප්පාදු කිරීමට ඉඩ නොදෙන බවත්, සෑම විටම ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් අප රජය පෙනී සිටින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි.
     
    විවිධ හේතු මත දරු දැරියන්ගේ අයිතිවාසිකම් අහිමි වී ඇති බව පැවසුවත්, සමාජයේ හා ජාතික වගකීමක් වශයෙන් එම අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා නිරතුරුවම පෙළ ගැසෙන බව අග්‍රාමාත්‍යතුමා කීවේය. ලෝක ළමා දින සැමරුමට සමගාමී ව ජනාධිපති කාර්යාලයේ කිතුනු ආගමික ඒකකය, ජාතික හා ආගමික සමගිය සඳහා වන ළමා පදනම එක්ව සංවිධාන කළ ළමා දින සැමරුම් උළෙල ඊයේ (01) පස්වරුවේ කොළඹ, ක්‍රිස්තු දේවස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. විශේෂ අවශ්‍යතාවන් සහිත දරු දැරියන් ඉදිරිපත් කළ ප්‍රසංගයෙන් අනතුරුව සිය කථාව පැවැත් වූ අග්‍රාමාත්‍යතුමා තවදුරටත් මෙසේ පැවසීය. 
     
    “අද මෙම අවස්ථාවේ සිටින දරු දැරියන් විවිධ ආබාධවලින් පෙළන අය වුවත්, ඔවුන් අප සමාජයෙන් කිසිසේත් ම කොන් කළ යුතු නැහැ. සෙසු දරුවන් හා සමාන ව ඔවුන් සඳහා ද සියලු ම අයිතිවාසිකම් ලබාදිය යුතුයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ප්‍රතිපාදන වෙන් කරමින් දරු දැරියන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ සමාජ ජීවන පරිසරය පුඵල් කිරීම සඳහා ව්‍යාපෘති රැසක් දියත් කර තිබෙනවා. එමෙන් ම ජාතික හා ආගමික වශයෙන් දරුවන් කිසිදු අයුරකින් කොන් කළ යුතු නැහැ. ආබාධ සහිත වුවත්, ආදායම් තත්ත්වය පහළ ගියත්, භාෂාව කථා කිරීමට නොහැකි වුවත්, විවිධ අඩුලුහුඬුකම්වලින් සමන්විත වුවත්, අප දරුවන් රටේ දරුවන් වශයෙන් සැලකිය යුතුයි. දෙමාපියන් දරුවන්ගේ භාරකරුවන් වුවත්, දරුවන්ගේ සැබෑ අයිතිකරුවන් වශයෙන් පෙනී සිටීමේ හැකියාවක් රජයට තිබෙනවා. ඒ නිසයි දරු දැරියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අප නිරතුරුවම පනත් සහ කෙටුම්පත් සකස් කරන්නේ. 
     
    නීති පද්ධතියක් මත පිහිටා නොසිට දරුවන් වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කිරීමට එක්වන ලෙස මම ඔබ සියල්ලන්ටම ආරාධනා කරනවා. මෙරට සියලු ම ආගම් මගින් සහජීවනය පිළිබඳව කථා කරනවා.  එම සහජීවනය තහවුරු කර ගැනීම මගින් දරුවන් නිසි මාර්ගයට යොමු කළ හැකියි.  ඒ සඳහා ගුරුවරු මෙන් ම, දෙමාපියන් ද, අප සමාජය ද කටයුතු කළ යුතුයි.  ආගමික, සංස්කෘතික හා සමාජීය වශයෙන් එක් ජාතියක් පහත් කොට සැලකීමට උතුම් මිනිසාට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මිනිසකු දක්ෂයකු වන්නේත්, සදාචාර සම්පන්න මිනිසකු බවට පත් වන්නේත් ආගම නිසයි. සියලු ම ආගම් ශිෂ්ට ආගම් බව අප සියල්ලෝ ම අවිවාදයෙන් පිළිගන්නවා. සදාචාර වශයෙන් ද, ආගමික වශයෙන් ද දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා අප පෙරමුණ ගත යුතු බව” අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය අග්ගමහා පණ්ඩිත පූජ්‍යපාද කඹුරුගමුවේ වජිර හිමිපාණන් වහන්සේ අදහස් දක්වමින්, “ළමා පරපුර සුරක්ෂිත කිරීම පිළිබඳව බලාපොරොත්තු තබා ගත යුතුයි. රටක් සංවර්ධනය කරා ගෙන යාමේ දී ළමා බලාපොරොත්තු ඉටු කිරීම පිළිබඳව ද අවධානය යොමු විය යුතුයි.  අතීතයේ දී මෙන් නොව අද ළමා පරපුරට විවිධ අභියෝග පවතිනවා. 
     
    දරුවන්ගේ වටිනාකම් ආර්ථික වටිනාකම් බවට පරිවර්තනය කිරීම නිසා බොහෝ දෙනෙක් දරුවන් වෙළඳ භාණ්ඩයක් බවට පත් කර ගෙනයි තිබෙන්නේ. ඒ නිසා ඒ තත්ත්වය වළක්වා ගැනීමට කටයුතු කළ යුතු” යැයි පූජ්‍යපාද කඹුරුගමුවේ වජිර හිමිපාණන් වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.  ජනාධිපති කාර්යාලයේ කිතුනු ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම්, දර්ශනපති සරත් හෙට්ටිආරච්චි පියතුමා අදහස් දක්වමින්, “රටේ සියලු ම දරු දැරියන් සම්බන්ධ කර ගැනීමේ අරමුණින් ඔවුන් නියෝජනය කර ගනිමිනුයි මෙවැනි ළමා දින සැමරුම් උළෙලක් සංවිධානය කළේ.  මේ සඳහා ජාති, ආගම්, වයස් භේදයෙන් තොරව ළමුන් රැසක් සම්බන්ධ කර ගැනීමට අප කටයුතු කළා. තරගකාරී ආර්ථික රටාවත් සමඟ දරුවන් හුදකලා වීම වැළැක්විය යුතුයි.  වැඩිහිටියන්ගේ අයිතීන් සුරක්ෂිත කරනවා සේ ම, දරුවන්ගේ අයිතිවාසිකම් ද සුරක්ෂිත විය යුතුයි. 
     
    ශ්‍රී ලංකාවේ පමණක් නො ව, ලෝකයේ විවිධ තරාතිරම් යටතේ සංවිධාන රැසක් දරු දැරියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා” යැයි සරත් හෙට්ටිආරච්චි පියතුමා වැඩිදුරටත් පැවසීය. ජනාධිපති කාර්යාලයේ බෞද්ධ ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය ගලගම ධම්මරංසි හිමිපාණන් වහන්සේ, මුස්ලිම් කටයුතු සම්බන්ධීකරණ ලේකම් ‍සෙයිය හසන් ෂර්මා පූජකතුමා, කුරුක්කල් බාබු ෂර්මා පූජකතුමා ඇතුළු ආගමික නියෝජිතයන් ද, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද, දෙමාපියන් සහ දරු දැරියෝ විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගිව සිටියහ.
     

     ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya