මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරදට යොමු වූ පුද්ගලයා සිය වරද සඟවා ගැනීමේ අරමුණින් නිවැරදිකරුවන් වරදට පොළඹවා ගැනේ

    සැප්තැම්බර් 29, 2014

    වරදට යොමු වූ පුද්ගලයා සිය වරද සඟවා ගැනීමේ අරමුණින් නිවැරදිකරුවන් වරදට පොළඹවා ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි. 

    අද සමාජයේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදිකරුවන් රැසක් සිය ව්‍යාපාරය ආරක්ෂා කර ගැනීම සඳහා නිවැරදිකරුවන්ට චෝදනා නගමින් ඔවුන් වරදකරුවන් බවට පත් කිරීම සඳහා දිගින් දිගට ම උත්සාහ දරමින් සිටින බව අග්‍රාමාත්‍යතුමා කීවේය. සමස්ත අමරපුර මූලවංශ  මහා නිකාය මගින් බලපිටිය, පාතේගම, යෝගාශ්‍රම විහාර විහාරාධිපති, රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, පූජ්‍යපාද බ්‍රාහ්මණවත්තේ විමලවාස තිස්ස හිමිපාණන් වහන්සේ වෙත “සිරිපවර විමල නන්දිතිස්ස වංශාවතංස යන ගෞරව නාම සහිත ව ගාල්ල, වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය පිරිනැමීම නිමිත්තෙන් එම විහාරස්ථානයේ දී පැවති අක්තපත්‍ර ප්‍රදානෝත්සවයේ දී අග්‍රාමාත්‍යතුමා මේ බව පැවසීය.

    අද සමාජයේ මත්ද්‍රව්‍ය උවදුර ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇත. රජයකට ඍජුව ම පුද්ගලයා නිවැරදි කළ නොහැකි බැවින් මත්ද්‍රව්‍ය උවදුරින් එක් එක් පුද්ගලයා මුදා ගැනීමට වඩා හැකියාවක් ඇත්තේ සමාජයටයි.

     

     

    අද සමාජයේ සූක්ෂම අයුරින් මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වී තිබෙන බව දක්නට ලැබෙනවා.  මත් උවදුරින් රට හා සමාජය නිදහස් කර ගැනීමට වැඩි හැකියාවක් පවතින්නේ රජයට පමණක් නො ව, සමස්ත සමාජයටයි.  පුද්ගලයාගේ හැසිරීම, ඔහු කරන වැරදි ආදිය මුලින් ම හඳුනාගත හැකි වන්නේ සමාජයටයි. ඔහු වැරදිකරුවකු බවට පත් වූ විට රජය දඬුවම් කළත්, ඔහු වැරදිකරුවකු බවට පත්වීමට බලපාන කරුණු මුලින් ම හඳුනා ගැනීමට හැකියාව ලැබෙන්නේ රජයට නො ව, අදාළ පුද්ගලයා ජීවත් වන සමාජයට යි.  ඒ නිසා වැරදිකරුවන්, නිවැරදිකරුවන් බවට පත් කිරීමේ කාර්ය භාරයේ දී සමාජයට ද ප්‍රබල වගකීමක් තිබෙනවා.  ‍‍ 

     

    රට, ජාතිය, ආගම, සංස්කෘතිය හා සභ්‍යත්වය මේ දක්වා ආරක්ෂා වී තිබෙන්නේ මහා සංඝරත්නය මෙරට වෙනුවෙන් කළ කැප කිරීම නිසයි.  සමාජය නිවැරදි මාර්ගයට ගෙන ඒම සඳහා මහා සංඝරත්නය ද, විශාල කැප කිරීමක් සිදු කරනවා.  ඒ වෙනුවෙන් අපි උන්වහන්සේලා වෙත කෘතඥතාව පළ කළ යුතුයි.  ත්‍රස්තවාදීන්ගෙන් මෙම රට මුදා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ශක්තිය හා ධෛර්යය ලබා දුන්නේ ද මහා සංඝරත්නයයි. උන්වහන්සේලා නොවන්නට අද මෙම රට බෞද්ධ රටක් වශයෙන් නොපවතින බව කිව යුතුයි.  බුදුන් වහන්සේගේ උප්පත්තිය මෙන් ම, උන්වහන්සේගේ පහස ලැබූ භාරත දේශයේ අද බුදු දහම දක්නට නැහැ. 

     

    ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය ආදී රටවල බෞද්ධ ස්මාරක, විහාරස්ථාන, විශ්වවිද්‍යාල ආදිය තිබුණත්. එම රටවල බුදු දහම තුරන් වුණේ එම රටවලින් මහා සංඝරත්නය  තුරන් වූ නිසයි. ඒ නිසා බෞද්ධ රටක් වශයෙන් මෙම හෙළ දිව ආරක්ෂා කර ගැනීමට නම් බුදු දහම ආරක්ෂා කර ගැනීමට අප තරයේ කටයුතු කළ යුතුයි.  බුදු දහම ආරක්ෂා කර ගැනීමට සමගාමීව  විශේෂයෙන් ම අද තරුණ පරපුර මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කර ගැනීමේ වගකීමත් අප වෙත පැවරෙනවා.  මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමට අද ඇතැමුන් උත්සාහ දරනවා. එක් අතකින් පාසල් දරුවන් ද අනෙක් අතින් රැකියා විරහිත තරුණයින් ද මත්ද්‍රව්‍ය කරා යොමු වීම වැළැක්වීමට කටයුතු කළ යුතුයි.  මතින් තොර රටක් නිර්මාණය කිරීම සඳහා සෑම විටක ම අප රජය ඉදිරිපත් වන බව” අග්‍රාමාත්‍යතුමා වැඩිදුරටත් පැවසීය


    සමස්ත අමරපුර මූලවංශික මහා නිකායේ මහානායක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය කොස්කොඩ සරණංකරතිස්ස හිමිපාණන් වහන්සේ, එම නිකායේ මහා ලේඛකාධිකාරී නාගදීප රජමහා විහාරාධිපති පූජ්‍යපාද බ්‍රාහ්මණවත්තේ සීවලී හිමිපාණන් වහන්සේ ප්‍රමූඛ මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya