මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඉංජිනේරු සභාව පිහිටුවීමේ පනත් කෙටුම්පත ඉදිරියේදි පාර්ලිමේන්තුවට Featured

    සැප්තැම්බර් 25, 2014

    මෙරට ඉංජිනේරු වෘත්තිකයින්ගේ බලාපොරොත්තු ඉටුකරමින් ජාතික ඉංජිනේරු සභාව පිහිටුවීමේ පනත් කෙටුම්පත ද ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට  කටයුතු කරන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ  “මහාභිමානී - 2014” ජාතික  ඉදිකිරීම් සම්මාන උළෙල පිළිබඳ ව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. මෙම මාධ්‍ය හමුව ඊයේ (24) කොළඹ දී පැවැත්විණ.
     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ අමාත්‍යවරයා; “මීට පෙර ජාතික ඉදිකිරීම් සංගමය සහ ඉදිකිරීම් අභ්‍යාස සංවර්ධන ආයතනය වෙන වෙනමයි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොන්ත්‍රාත්කරුවන් අගය කිරීම සඳහා මෙවැනි සම්මාන උළෙලවල් සංවිධානය කරනු ලැබුවේ. එම අවස්ථාවන්ට ප්‍රධාන ආරාධිතයා ලෙස බොහෝ අවස්ථාවල සහභාගී වුණා ම, මට හිතුණ දෙයක් තමයි, මේ සම්මාන උළෙලවල් දෙක ම එකක් බවට පරිවර්තනය කරලා මේ ආයතන දෙකේ ම ශක්තිය එකට එකතු කරලා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොන්ත්‍රාත්කරුවන්ගේ සිට ශිල්පියා දක්වා ම වූ ප්‍රජාව ඇගයීමට ලක් කිරීම සඳහා “මහාභිමානී” වැනි ප්‍රබල සම්මාන උළෙලක් සංවිධානය කළ යුතුයි කියලා.


    ඒ අනුව අපි 2013 වර්ෂයේ “මහාභිමානී” ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල සංවිධානය කරනු ලැබුවා. “මහාභිමානි” සම්මාන උළෙලක් වුණාට, මෙය පිටුපස තියෙනවා ලොකු කතාවක්. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සම්මාන උළෙලේදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොන්ත්‍රාත්කරුවන්, වෘත්තිකයින් සහ ශිල්පීන් මෙන් ම සැපයුම්කරුවන් ද ජාතික වශයෙන් එක ම වේදිකාවක් තුළ ඇගයීමට ලක්කෙරෙනවා. ඒ තුළින් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය ගුණාත්මක තත්ත්වයකට රැගෙන ඒමට හැකියාව ලැබෙන බව පැහැදිලිව පේනවා. ගියවර මහාභිමානී සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වූ ඉදිකිරීම් ශිල්පීන් හරහා මෙරට තරුණ පරම්පරාව වෙත  යහපත් පණිවිඩයක් රැගෙන  යාමට අපට හැකියාව ලැබුණා. අවාසනාවකට තවමත් මෙරට ඇතැම් මාධ්‍ය ඉදිකිරීම් ශිල්පීන්ව හඳුන්වනු ලබන්නේ “බාස්” කියන වචනයෙන්. මෙය කනගාටුදායක තත්ත්වයක්. අප උත්සාහ කරන්නේ මෙවැනි වැඩසටහන් මඟින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු ප්‍රජාවගේ ආකල්ප වර්ධනය කිරීමටයි.


    ඉදිකිරීම් ශිල්පීන්ට පමණක් නො ව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොන්ත්‍රාත්කරුවන්ට ද මෙමඟින් විශාල වශයෙන් ප්‍රතිලාභ රැසක් හිමිවෙනවා. පසුගිය කාලයේදී අවිධිමත්ව හා ගුණාත්මකභාවයෙන් තොරව සිදුකරනු ලැබූ විවිධ ඉදිකිරීම් හේතුවෙන් ඒවා කඩා වැටෙන ප්‍රවෘත්ති මාධ්‍ය මඟින් අසන්නට දකින්නට ලැබුණා. නමුත් මෑත ඉතිහාසයේ එවැනි ප්‍රවෘත්ති බහුලව අසන්නට, දකින්නට ලැබෙන්නේ නැහැ. එය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන යහපත් ප්‍රගතියක්. ඒ මඟින් පැහැදිලි වන්නේ මේ ක්ෂේත්‍රයේ වර්ධනයත් සමඟම ගුණාත්මක තත්ත්වයේ පිබිදීමක් ද සිදුවී තිබෙන බවයි. රාජ්‍ය අංශයට හා පෞද්ගලික අංශයට නොසැළකිලිමත්ව එවැනි ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ මහජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයකින් සිටින නිසා බව පැහැදිලියි.


    මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුක්තව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කරන මැදිහත්වීම අප කළ යුතු වෙනවා. මේ අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කරපු නිසයි, ඉදිකිරිම් අභ්‍යාස සංවර්ධන  ආයතනය, ඉදිකිරීම් සංවර්ධන අධිකාරිය බවට පත්කරලා ඒ මඟින් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය නව මාවතකට රැගෙන යාමටයි අප කටයුතු කරමින් සිටින්නේ. ඉක්ටෑඩ් ආයතනය අධිකාරියක් බවට පරිවර්තනය කිරීමට අප කටයුතු කළේ. මෙරට ආර්ථිකය තුළ සිටින ලක්ෂ ගණනක පිරිසකගේ රැකියා අවස්ථාවන් ආරක්ෂා කරදීමට,විශාල පිරිසකගේ ජීවිත තත්ත්වයක් උසස් කිරීමට, දරු පවුල් රැසක් ජීවත් කරවීම සඳහා ඍජුව ම දායකත්වය සපයන, සැපයුම්කරුවන්ට අවස්ථාවන් උදා කරදෙන ගමන් ඔවුන් ව ශක්තිමත් කිරීමට කටයුතු කරන  මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනාගත අභිවෘද්ධිය උදෙසායි. පිබිදෙන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනාගත අභිවෘද්ධිය උදෙසා “මහාභිමානී”  ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල සංවිධානය කරනවා වගේ ම ඉදිකිරීම් සංවර්ධන අධිකාරිය පිහිටුවීමට කටයුතු කරන්නේ ද ඒ නිසයි.


    අපේ ඉංජිනේරුවන් දශක ගණනාවක සිට බලාපොරොත්තුවෙන් සිටියා වෛද්‍යවරුන්ගේ එම වෘත්තීය ආයතනය වගේ ඉංජිනේරු වෘත්තියට අදාළ වූ වෘත්තීයමය ආයතනයක් පිහිටුවා ගැනීමට. ඒ පිළිබඳව අවධානය යොමු කරලා  තව නොබෝ දිනකින් ම ජාතික ඉංජිනේරු සභාව පිහිටුවීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා. මේ විදිහට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොන්ත්‍රාත් ආයතන, වෘත්තිකයින්, ශිල්පීන්  හා අනෙකුත් සෑම අංශයක් ම බලාපොරොත්තු වන යහපත් වර්ධනයකට අවශ්‍ය කරන මැදිහත්වීම අප විසින් සිදුකරමින් සිටිනවා. මේ තුළ කිසි ම දේශපාලන න්‍යාය පත්‍රයක් අපට නැහැ. අපේ අරමුණ තමයි ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කිරීම.


    මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන තරුණ පරපුර ඉදිරියේ ඇති  බාධාවන් අප විසින් කඩා ඉවත් කළ යුතු වෙනවා. අපේ භාෂාවේ තිබෙන හිංසාකාරී ප්‍රභූ ආධිපත්‍ය තබා ගැනීමට යොදාගත් වචන හැලීම සිදු කළ යුතු කාර්යක්. එම වචන නූතන සමාජයට උචිත නැහැ. ඉදිකිරීම් ශිල්පීන්ගේ  ආකල්ප ශක්තිමත් කරලා ගුණාත්මක සේවාවක් සඳහා එම පිරිස යොමු කිරීමයි වැදගත් වෙන්නේ. එමෙන් ම ලෝකයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය හඹාගෙන යන ඉන් ජයග්‍රහණ, අවස්ථාවන්, ප්‍රතිලාභ අත්පත් කරගන්නා  දේශීය කොන්ත්‍රාත්කරුවන්, පිරිසක් නිර්මාණය කිරීමට මෙන් ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කිරීමට ද අප කටයුතු කරමින් සිටිනවා. ත්‍රස්තවාදී බලය බිඳ දමමින් ආරක්ෂක හමුදා ගෙන ගිය මෙහෙයුම වගේම මේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට තිබෙන බාධාවන් ඉවත් කරමින් නොගැළපෙන ආකල්පයන් බිඳ දමමින් ඉදිරියට යෑමට තිබෙන හොඳ ම වාතාවරණය නිර්මාණය කිරීම ද එවැනි ක්‍රියාන්විතයක්  හා මෙහෙයුමක් වෙනවා” යනුවෙන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.


    ඉදිකිරීම් ක්ෂේත්‍රය ගොඩනගන මෙහෙයුම සඳහා මෙරට මාධ්‍ය සතුව විශාල වගකීමක් පවතින බව ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී පැමිණ සිටි මාධ්‍යවේදීන්ට පැවසීය.


    ඍණාත්මක සිදුවීම් ප්‍රචාරය කිරීමේදී දක්වන උනන්දුව ධනාත්මක දේවල් ප්‍රචාරය කිරීමේදී ඇතැම් මාධ්‍ය දක්වන්නේ නැති බව  පැහැදිලිව පේනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තත්ත්වය පිළිබඳ ව රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී මගෙන් විමසීමක් කළා. මම එයට පිළිතුරු දෙමින් පැවසුවා නිවාස අධිකාරිය කියන්නේ ලාභ ලබන ආයතනයක් නෙවෙයි. සේවා සපයන ආයතනයක් කියලා. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලාභ අලාභ කොහොමද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒක විහිළු සහගත ප්‍රශ්නයක් වෙනවා කියලා රවී කරුණානායක මහතාට පෙන්වා දෙමින් එතුමා අහපු ප්‍රශ්නයට මම පිළිතුරු ලබාදුන්නා.


    නමුත් මම දැක්කා එක පුවත්පතක ඒ කිසි ම පූර්විකාවක් නැති ව නිවාස අධිකාරිය අලාභයි කියලා ප්‍රවෘත්තියක් පළ වෙලා තියෙනවා. ඒ වගේ ම එක ඉංග්‍රීසි පත්තරයක තිබුණා ඉදිකිරීම් අමාත්‍යාංශය ම අලාභයි කියලා. මේ විදිහේ තත්ත්වයක් තමයි වර්තමානය වන විට ඇතිවෙලා තියෙන්නේ. දැන් බලන්න ටී.බී. ඒකනායක මහත්තයාගේ සපත්තුවේ අඩිය ගැලවුණු සිද්ධිය නිසා මුළු ලෝකය ම දන්නවා එතුමා ගිවිසුමක් අත්සන් කළා කියලා. ඒ සපත්තුවේ අඩිය ගැලවුණේ නැත්නම් ටී.බී. ඒකනායක ඇමතිතුමා ගිවිසුමක් අත්සන් කළා කියන කරුණ පිළිබඳව අවධානය යොමු නොවෙන්න පුළුවන්. මේ නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා අප කටයුතු කරන විට ඒ සඳහා වූ බාධකයන් ඉවත් කරමින් සිදුකරනු ලබන දැවැන්ත මෙහෙයුමට හා ක්‍රියාන්විතයට දායකත්වය ලබාදීමේදී මාධ්‍යවේදීන් විදිහට ඔබ තමුන්නාන්සේලා ඉදිරිපිට විශාල වගකීමක් තිබෙනවා ” යනුවෙන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.


    “මහාභිමානී - 2014” ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 18 වෙනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.


    “මහින්ද චින්තන ඉදිරි දැක්ම” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය, ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය (ICTAD) සහ ජාතික ඉදිකිරීම් සංගමය (NCASL) එක්ව “මහාභිමානි  2014” ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනාගත අභිවෘද්ධිය උදෙසා ක්ෂේත්‍රයේ නියුතු විශිෂ්ටතම ඉදිකිරීම් ආයතන, විශිෂ්ටතම ඉදිකිරීම් වෘත්තිකයින් සහ විශිෂ්ටතම ඉදිකිරීම් ශිල්පීන් ඇගයීම මෙම සම්මාන උළෙල මඟින් සිදුකෙරේ.


    ඒ තුළින් ක්ෂේත‍්‍රයේ  පුහුණු ශිල්පීන්ගේ දක්ෂතා ඇගයීම මඟින් වැඩි අවධානයක් ඔවුන් වෙත ලබාදීම, තරුණ තරුණියන් තුළ මෙම ක්ෂේත‍්‍රය පිළිබඳ ආකර්ශනයක් ඇතිවන අයුරින් අදාළ පුහුණු පාසල්, ආයතන, සේවා යෝජකයන් හා රැකියා අවස්ථා පිළිබඳ වැඩි ප‍්‍රචාරණයක් ලබාදීම, ඉදිකිරීම් ක්ෂේත‍්‍රය පිළිබඳ  වැඩි ජනතා  අවධානයක් ලබාදීම මගින් සමස්ත ඉදිකිරීම් ක්ෂේත‍්‍රය ම ගුණාත්මක වර්ධනයන් වෙත රැගෙන යාම මහාභිමානී සම්මාන උළෙල හඳුන්වාදීමේ ප‍්‍රධාන අරමුණයි.


    මෙම මාධ්‍ය හමුව සඳහා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, එහි අතිරේක ලේකම් (නිවාස සංවර්ධන) කේ.ඒ. තිලකරත්න, ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනයේ සභාපති අනුර දසනායක, එහි අධ්‍යක්ෂ ජනරාල් එච්.කේ. බාලචන්ද්‍රන්, ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුනිල් ලියනආරච්චි, එහි හිටපු සභාපති ප්‍රියන්ත පෙරේරා, එහි ලේකම් රංජි හේවගේ, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ජගත් කුමාර පෙරේරා, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කැෂියන් හේරත් යන මහත්වරු, නිලධාරීහු, අනුග්‍රාහකයෝ සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යන්හි නියුතු මාධ්‍යවේදීහු විශාල පිරිසක් සහභාගී වූහ.


    HC

    mahabhimani 2014 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya