මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ දැවැන්ත සංවර්ධනය ඉන්දීය මාධ්‍යවේදීන් ඉහළින් ම අගයති

    සැප්තැම්බර් 11, 2014
    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් කලාපයේ අන් කිසිම රටක දක්නට නොලැබෙන බවද යටිතල පහසුකම් සංවර්ධනයේ ප්‍රතිඵල ග්‍රාමීය ජනතාව ඉහළින්ම භුක්ති විඳින අතර ඉදිරි දශකය තුළදී ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධන රටක් බවට පත්වීම නිසැක බවද ජාති ආගම් භේදයකින් තොරව රජය සිදු කරන එම ක්‍රියාවලිය පිළිබඳ ව ඉන්දීය ජනතාව දැනුවත් කරන බවද ඉන්දීය ප්‍රාන්ත 14ක් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ප්‍රාන්ත නියෝජිතයෝ ප්‍රකාශ කළහ.
     
    ඉන්දීය මාධ්‍ය දූත පිරිස මේ බව ප්‍රකාශ කළේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ ඉකුත් දා එම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවේදීය. ඉන්දීය වෘත්තීය මාධ්‍යවේදී සම්මේලනයේ මහ ලේකම්  පරමානන්ද් පාණ්ඩේ මහතාගේ නායකත්වයෙන් යුත් මෙම ඉන්දීය දූත පිරිසට ප්‍රාන්ත 14ක පුවත්පත් සහ රූපවාහිනී නාලිකාවන් 24ක් නියෝජනය කරමින් ඉන්දිය මාධ්‍යවේදීන් 30 දෙනෙක් ඇතුළත් විය. සතියක චාරිකාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මෙම නියෝජිත පිරිස කොළඹ, නුවර, නුවරඑළිය, ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ  ගණනාවක සංචාරයක නිරත විය.
     
    මෙහිදී ඉන්දීය මාධ්‍යෙව්දීහු බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට කියා සිටියේ සංචාරකයන් සඳහා ඉතාම හිතකර පරිසරයක් ශ්‍රී ලංකාව තුළ පවතින බවත් ලොව වෙනත් කිසිම රටකදී අත්විඳිය නොහැකි සුන්දර අත්දැකීම් ශ්‍රී ලංකාව තුළ ලබාගැනීමට හැකිවූ බවත්ය.
     
    ශ්‍රී ලංකාව ගැන ඉන්දිය ජනතාව තුළ ඇත්තේ ඉතාමත් ප්‍රසාදයක් බවද තමිල්නාඩු ප්‍රාන්තය තුළ ඉතා සුළු පිරිසක් අනවබෝධය සහ පටු වාසි සඳහා ශ්‍රී ලංකාවට එරෙහිවන බව මෙහිදී පෙන්වා දුන් ඉන්දීය මාධ්‍ය නියෝජිතයෝ එය සමස්ත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැට‍ලුවක් ලෙස වරදවා වටහා නොගන්නා ලෙසද ඉල්ලා සිටියහ. මෙහිදී අදහස් දක්වමින් ඉන්දීය වෘත්තීය මාධ්‍යවේදී සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දුන්නේ තමිල්නාඩුවේ සිටින්නේ කෝටි 06ක ජනතාවක් බවද සමස්ත ඉන්දියාව සමඟ සසඳන විට එය සියයට 6ක් පමණක් වන බවය. 
     
    ඉන්දීය රජයේ ආධාර යටතේ උතුරේ සහ වතුකරයේ ඉදි වන නිවාස 50,000 වැඩසටහන සහ යාපනය දක්වා දිවෙන දුම්රිය මාර්ගය ඉදිකිරීම ඇතුළු උතුරු නැගෙනහිර සංවර්ධන වැඩසටහන් කෙරෙහි  ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා දක්වන උනන්දුව ඉන්දීය නියෝජිතයෝ මෙහිදී ඇගයුමට ලක් කළහ. 
     
    ශ්‍රී ලංකාවේ පවතින සංචාරක සහ ආයෝජන අවස්ථා පිළිබඳ ව ඉන්දීය ජනතාව දැනුවත් කළ යුතු බව මෙහිදී පෙන්වා දුන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව තුළ ඉන්දියාව මගින් දැනට ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් කිහිපයක් පිළිබඳ ව පැහැදිලි කළේය. එමෙන්ම උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳ ව අමාත්‍යවරයා මෙහිදී දීර්ඝව කරුණු පැහැදිලි කළේය.
     
    ඉන්දීය වෘත්තිය මාධ්‍යවේදී සම්මේලනයේ මහ ලේකම්  සහ නියෝජිත කණ්ඩායමේ නායක පරමානන්ද් පාණ්ඩේ මහතා මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාව පිළිබඳ ව ඇතැම් සාවද්‍ය ප්‍රකාශ නිසා දුර්මතයන් ඉවත් කිරීමට තම සාමාජිකයන් මාධ්‍ය මගින් පියවර ගන්නා බවය.  යුද්ධයෙන් පසු ද්‍රවිඩ පුවත්පත් සහ රූපවාහිනී නාලිකා කිහිපයක් උතුරු නැගෙනහිර ආරම්භ කිරීම මගින් ජනතාවට තොරතුරු දැන ගැනීමේ අවස්ථාව රජය තහවුරු කිරීම පිළිබඳ ව හෙතෙම සිය සතුට පළ කළේය.
     
    මෙම සාකච්ඡාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත්, වාණිජ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුර සිරිවර්ධන, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුන්ද ඉන්දීය සහ ශ්‍රී ලාංකීය මාධ්‍ය නියෝජිතවරු ද එක්ව සිටියහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya