අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර ගණිත තරගයෙන් ශ‍්‍රී ලංකාවට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක්

    සැප්තැම්බර් 09, 2014


    බල්ගේරියාවේ ඇමරිකානු විශ්වවිද්‍යාලයේ හා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර ගණිත තරගයෙන් (International Mathematics Competition - IMC) ශ‍්‍රී ලංකාවේ සරසවි සිසුන් වන බුද්ධිම ගම්ලත් රිදී පදක්කමක් සහ තිළිණ බණ්ඩාර ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූහ.


    ජාත්‍යන්තර විශ්වවිද්‍යාල මට්ටමේ ගණිත ලෝලීන්ට සහභාගී විය හැකි ඉහළ ම තරගය වන IMC තරගය වාර්ෂිකව පවත්වනු ලබයි. මේ වන විට අඛණ්ඩව වසර 20ක් පුරා පවත්වා ඇති මෙහි 21 වන තරගය මෙම වසරේ ජූලි මස 29 වෙනි දින සිට අගෝස්තු මස 04 වෙනි දින දක්වා බල්ගේරියාවේ බ්ලගොව්ග‍්‍රැඩ් නගරයේදී පැවැත්විණ.


    මේ සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින්  ඉදිරිපත් වූ කණ්ඩායමට අවශ්‍ය ප‍්‍රතිපාදන දායකත්වය කොළඹ සහ මොරටුව විශ්වවිද්‍යාලවලින් සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ලබා දෙන ලදී.


    කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ අධීක්ෂණය යටතේ සියලු ම ශ‍්‍රී ලාංකේය ගණිත අධ්‍යයන අංශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පවත්වන ලද පරීක්ෂණයකින් මෙම පිරිස තෝරා ගනු ලැබීය.


    ලෝකයේ ප‍්‍රමුඛ විශ්වවිද්‍යාල මෙන් ම රටවල් ගණනාවක් නියෝජනය කරමින් මුල් පෙළේ ගණිතඥයෝ මෙන්ම ගණිතය විෂය හදාරණ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ රාශියක් මෙම තරගය සඳහා සහභාගී වූහ. මෙහිදී තරගකරුවන්ට තාත්වික හා සංකීර්ණ විශ්ලේෂණය, වීජ ගණිතය, රේඛීය වීජ ගණිතය සහ සමායෝජනය යන ක්ෂේත‍්‍රවලින් ගණිතමය සෞන්දර්යයෙන් පිරුණු දුෂ්කර ගැටලු සහිත ප‍්‍රශ්න පත‍්‍ර දෙකකට මුහුණ දීමට සිදු විය.


    ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින්  මෙම තරගයට කණ්ඩායමක් ඉදිරිපත් වූ දෙවන අවස්ථාව මෙය වන අතර පසු ගිය වසරේ ඉදිරිපත් වූ කණ්ඩායම ලෝකඩ පදක්කම් දෙකක් සහ ගෞරව සම්මානයක් දිනා ගැනීමට සමත් වූහ.


    එක්සත් ජනපදයේ යේල්, එක්සත් රාජ්‍යයේ ලන්ඩන් සහ වෝවික්, ජර්මනියේ මුන්වෙන්, ගොටිඩන් සහ බොන්, රුසියාවේ මොස්කව් සහ සාන්ත පීටර්ස්බර්ග් මෙන් ම පෝලන්තයේ වොර්සෝ වැනි ලොව ප‍්‍රමුඛතම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් සිසුහු මේ සඳහා ඉදිරිපත් වූහ.


    ජාත්‍යන්තර ගණිත තරගයේ එක් වසරක පමණක් අත්දැකීම් ඇති කණ්ඩායමක් ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන වාරයේ දී ලොව ප‍්‍රමුඛතම විශ්වවිද්‍යාල කිහිපයක් ඉක්මවා යාම මෙහි කැපී පෙනෙන ලක්ෂණයක් විය.


    ECB/DM_cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya