මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බාලා තම්පෝ සහෝදරයා කම්කරු ජනතාව වෙනුවෙන් තම මුළු දිවියම කැප කළ විශිෂ්ට කම්කරු නායකයෙක්

    සැප්තැම්බර් 05, 2014

    ලංකා වෙළෙඳ සේවක සංගමයේ මහ ලේකම් දිවංගත බාලා තම්පෝ සහෝදරයා කම්කරු ජනතාව වෙනුවෙන් තම මුළු දිවිය ම කැප කළ විශිෂ්ට ගණයේ කම්කරු නායකයෙකු ලෙස අප සැමගේ ගෞරවාදරයට පාත‍්‍ර වී සිටින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


    එම ශෝක පණිවිඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. "වෘත්තීය සමිති ක්‍ෂේත‍්‍රයේ දිප්තීමත් නායකයෙකු වූ බාලා තම්පෝ මහතා මෙරට දේශපාලන ඉතිහාසයේ විප්ලවීය සන්ධිස්ථානයක් ලෙස සලකන 1953 මහා හර්තාල් ව්‍යාපාරයේ ප‍්‍රධාන සංවිධායකයා ලෙස ඉටුකළ මෙහෙවර කිසිදා අමතක කළ නොහැකියි. ඔහුගේ ගමන් මග මල්යහනාවක් නොවුව ද බාලා තම්පෝ මහතා කිසිදාක කටු අකුල් බාධක නිසා කම්පාවට පත් නොවීය. ඒවා ඔහුගේ සටන්කාමීත්වය මුවහත් කරන අවියක් විය. ඔහු ගෙවීගිය අඩසියවසකට අධික කාලය තුළ වෘත්තිය සමිති ක්‍ෂේත‍්‍රය තුළ තීරණාත්මක සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය. ඒ නිසා වැඩ කරන ජනතාවට ඔහු තම නායකත්වයෙන් යුත් කාලය තුළ ලංකා වෙළෙඳ සේවක සංගමයට ලබා දුන් ජයග‍්‍රහණ අප‍්‍රමාණයි.  

     

    බාලා තම්පෝ මහතාගේ වෘත්තිය සමිති ව්‍යාපාරය තුළ පැවති ආචාර ධර්මානුකූලභාවය වර්තමානයේ වැඩවර්ජන කරන ඇතැම් වෘත්තිය සමිතිවලට කදිම ආදර්ශයක් විය. ඔහු හැමවිට ම සේවකයන්ගේ අයිතීන් දිනාදීමට කැපවුවා සේ ම සේවකයාගේ වගකීම් හා යුතුකම් ගැන ද අවධානය යොමු කළ ආදර්ශමත් කම්කරු නායකයෙකු විය. 

    ඒ.ඊ. ගුණසිංහ මහතා නායකත්වය දැරූ ලංකා වෙළෙඳ සේවක සංගමයෙන් ඔහු ඉවත්වීමෙන් පසුව එහි මහා ලේකම්වරයා වූයේ බාලා තම්පෝ මහතායි. එදා සිට ඔහු මිය යන තුරුම වෘත්තීය සමිති මහ ලේකම්වරයා විය. ඔහු ගෙවී ගිය අඩ සියවසකටත් වැඩි කාලය තුළ එහි මහා ලේකම් ලෙස කටයුතු කරමින් වාර්තාවක් ද තබා තිබේ. එසේ ම ඔහු සිය කාලය තුළ කම්කරු නායකයෙකු ලෙස සිය වගකීම් සම්භාරය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඉටු කළේය. මේ ආදර්ශමත් කම්කරු නායකයා සමස්ත කම්කරුවන්ගේ පමණක් නො ව මුළු රටේ ම ආශිර්වාදයට ලක්වූ පරමාදර්ශී චරිතයක් විය. 

     

    වර්ෂ 1922 මැයි 24 වනදා මීගමුවේදී උපත ලත් බාලා තම්පෝ මහතා 1948 වසරේදී අවුරුදු 26ක ලාබාල තරුණයෙකු ලෙස වැඩකරන ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් මුළු ජීවිත කාලය ම කැප කළේය. ඔහු වෘත්තිය සමිති නායකයෙක් පමණක් නො ව වෘත්තීයෙන් අපරාධ නීතිය පිළිබඳ නීතිඥයෙකු ද විය. ඔහු ලංකා විශ්වවිද්‍යාලයේ හා ලන්ඩන් විශ්විද්‍යාලයේ උපාධිධාරයෙකි. එසේම ඔහු කලක් සරසවි කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කළේය. එසේ ම ඔහු ලංකා සමසමාජ පක්‍ෂයේ ආරම්භක ප‍්‍රබල සාමජිකයෙකු වූ අතර ආචාර්ය ඇම්.ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, දොස්තර එස්.ඒ. වික‍්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු සමාජවාදී ව්‍යාපාරයේ දැවැන්තයන්ගේ සමකාලීනයෙකු ලෙස ද හඳුන්වාදිය හැකිය.

     

    සියවසකට ආසන්න කාලයක් සිය දිවි ගමන තුළ මියයන තෙක් ම වෘත්තිය සමිති ව්‍යාපාරයේ දැවැන්තයෙකු ලෙස කටයුතු කළ බාලා තම්පෝ මහතාගේ වියෝව පිළිබඳ මාගේ බලවත් ශෝකය එතුමාගේ පවුලේ සාමාජිකයන් වෙත පිරිනමමි. බාලා තම්පෝ මහතාට නිවන් සුව ලැබේවා" යැයි අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.  

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya