මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා ඒකපුද්ගල ආදායම වැඩිකිරීමෙන් සෑහීමකට පත් වෙන්නේ නෑ

    අගෝස්තු 30, 2014
    ඒක පුද්ගල ආදායම වැඩි කිරීමෙන් පමණක් සෑහීමකට පත් නොවී තම පාලන කාලය තුළ දූගී දුප්පත් කමින් තොර ආර්ථික වශයෙන් ශක්තිමත් ගම් දනව් මේ රට පුරා ඇති කිරීම ජනාධිපතිතුමාගේ අරමුණ යැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්යය පී.බී. ජයසුන්දර මහතා සඳහන් කරයි.
     
    ඔහු එසේ සඳහන් කළේ රත්නපුර නව නගරයේ පිහිටි සබරගමු පළාත් ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
     
    මෙහිදී මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්යය පී.බී. ජයසුන්දර මහතා සඳහන් කළේ 2015/2017 මධ්‍ය කාලීන ආයෝජන සැලැස්ම සහ ඉදිරි අය-වැය යෝජනා සකස් කිරීමට පූර්වගාමී ව ඒ ඒ පළාත් සභාවල අවශ්‍යතා සහ අදහස් උදහස් විමසමින් මෙවන් සංවාදයක් ආරම්භ කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නියමයක් බවය. මීට පෙර වයඹ සහ මධ්‍යම සහ පළාත් සභා සමග මේ හා සමාන සංවාද වට දෙකක් පැවති බවට ජයසුන්දර මහතා පැවසීය.
     
    පළාත් සභා ක්‍රමය මෙරට ආරම්භ වී වසර 25ක් ඉක්ම ගොස් ඇතත් ජාතික අය-වැය සම්පාදනය සඳහා යෝජනා අදහස් උදහස් ලබාගැනීමට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ භාණ්ඩාගාරයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පළාත් සභා බලධාරීන් මුණ ගැසෙන්නේ ඉතිහාසයේ පළමු වරට යැයි ද පී.බී ජයසුන්දර මහතා කීය.
     
    ඉදිරි අයවැයට අදාළව ඒ ඒ රේඛීය අමාත්‍යංශ සමග කෙරෙන සංවාද සේ ම පළාත් සභා ද ඊට දායක කර ගන්නැයි ජනාධිපතිතුමා මුදල් අමාත්‍යංශයට උපදෙස් දී ඇතැයි ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
     
    රටේ ඒක පුද්ගල ආදායම වැඩි වෙමින් පවතින අතර එපමණකින් සෑහීමකට පත් නො වී එම ආර්ථික ප්‍රතිලාභ සාධාරණ ලෙස රට පුරා එක හා සමානව විසිර යාම දැක්ම ජනාධිපතිතුමාගේ අරමුණ වේ. එහෙත් ජනාධිපතිතුමා මෑතක රට පුරා සිදු කළ සංචාරවල දී ඇතැම් ප්‍රදේශ තවමත් පසුගාමී බව දක්නට ලැබුණෙන් එම පසුගාමී කලාප කෙරෙහි වැඩි බරක් තබමින් සංවර්ධන කටයුතුවල දී එම කලාපවලට වැඩි බරක් යොමු කරන්නැයි එතුමන් උපදෙස් දුන් බව මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා පැවසීය. 
     
    ඉදිරි අය-වැය ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් මෙරටට ඉදිරිපත් කරන දස වෙනි අය-වැය බව කී ඔහු එකී ඓතිහාසිකත්වය සේ ම රට ශීඝ්‍ර දියුණුවට ලක් වෙමින් තිබියදී රටේ කිසියම් හෝ ප්‍රදේශයක් එම දියුණුවට හසු නො වී ඇත්නම් එම ප්‍රදේශ ද ශීඝ්‍ර සංවර්ධනයකට දායක කර ගැනීම පළාත් මට්ටමින් මුදල් අමාත්‍යංශය සිදු කරන මෙම සංවාදයන්හි අරමුණ බවද ලේකම්වරයා කීය.
     
    සෞඛ්‍ය අධ්‍යාපන, මාර්ග, විදුලිය මේ කුමන ක්ෂේත්‍රයකට අදාළ ව වුව සැලසුම් සම්පාදනයේදීත් ප්‍රතිපාදන වෙන් කිරීමේදීත් දුෂ්කර ගම්දනව්වලට වැඩි අවධානය යොමු කරමින් ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය නංවාලීම සඳහා පළාත් සභා ඉදිරිපත් කරන යෝජනාවලට අවශ්‍ය අරමුදල් ලබාදීමට රජය සූදානම් බවද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා හෙළිදරව් කළේය.
     
    මෙහිදී සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතා සඳහන් කළේ අධ්‍යාපන හා සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලදි සබරගමුව මහින්ද රාජපක්ෂ රජය යටතේ දැවැන්ත ජයග්‍රහණ අත්පත් කරගෙන ඇති බවය.
     
    අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව සබරගමු පළාත ජාතික මට්ටම අබිබවා ඇති අතර සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලදී සබරගමුව ජාතික මට්ටමට ඉතා ආසන්න ව සිටී. 5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලට අනුව මේ වන විට සබරගමුව ජාතික ම්ටට්ම ඉක්මවා සිටින බව කී මහ ඇමතිවරයා මාතෘ මරණ හා උපතේදී සිදුවන ළමා මරණවලට අදාළ ව සබරගමුව ජාතික ම්ටටමට වඩා ප්‍රශස්ත ඇතැම් බටහිර දියුණු රටවල දර්ශකයන්ට ආසන්න වෙමින් පවතින බවද කීය.
     
    මෙහිදී සබරගමු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා මැති ඇමතිවරු සහ ලේකම්වරු පළාතේ ඉදිරි සංවර්ධන යෝජනා මුදල්  ලේකම්වරයාගේ අවධානයට යොමු කළ අතර අධ්‍යාපන, සෞඛ්‍ය, මාර්ග, වාරිමාර්ග කෘෂිකාර්මික වතු යටිතල සංචාරක ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අදාළ ව ඔවුන් ඉදිරිපත් කළ යෝජනා බොහොමයක් සඳහා අවශ්‍ය අනුමැතිය හා ප්‍රතිපාදන ලබා දෙන බට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහතික විය.
     
    මෙම අවස්ථාවට පළාත් අමාත්‍යවරුන් වන අතුල කුමාර රාහුබද්ධ, රංජිත් බණ්ඩාර, පළාත් ප්‍රධාන ලේකම් එච්.පී. කුලරත්න, මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් වන ආචාර්යය සුරේන් බටගොඩ, සජිත් පී. ආටිගල, පුෂ්පා වෙල්ලප්පිලි, ජාතික අය-වැය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රා ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුළු සබරගමු පළාත් සභාවේ සියලුම ආයතන ප්‍රධානීහු ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya