මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද ශ්‍රී ලාංකිකයන් සැබෑ නිදහසේ උරුමකරුවන් බවට පත් වී ඇත - ඉන්දීය ජනමාධ්‍යවේදීන් Featured

    අගෝස්තු 25, 2014
    අද වන විට ශ්‍රී ලංකාව හා ශ්‍රී ලාංකිකයන් සැබෑ නිදහසේ උරුමකරුවන් බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකාවේ සෑම තැනම විධිමත්භාවයක් දක්නට ලැබෙන අතර මේ රට ඉතා ම පිරිසිදු රටක් බවත් ඉන්දීය ජනමාධ්‍යවේදීහු පිරිසක් පැවසූහ.
     
    ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ ආරාධනාවකට අනුව මේ දිනවල විශේෂ සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය ජනමාධ්‍යවේදී වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයෝ පිරිසක් පසුගිය සෙනසුරාදා ඔවුන් වෙනුවෙන් කොළඹ සීනෝර් අවන්හලේදී සංවිධානය කරන ලද රාත්‍රි භෝජන සංග්‍රහයකදී මේ බව පවසා සිටියහ.
     
    සාමාජිකයන් 60,000ක් පමණ සිටින තම සම්මේලනය ඉන්දියාවේ ඇති පැරණිතම හා විශාලතම ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිති සම්මේලනය බව පැවසූ ඉන්දියානු ජනමාධ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ මහ ලේකම් පරමානන් පාණ්ඩේ මහතා පැවසුවේ, මෙම ශ්‍රී ලංකා සංචාරය සඳහා ඉන්දියාවේ සියලුම ප්‍රාන්ත නියෝජනය වන පරිදි රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත් හා ජනමාධ්‍ය ආයතනවල නියෝජිතයන් 29 දෙනෙකු සහභාගී වූ බවත් ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය සියැසින් දැකබලා ගැනීම සඳහා මෙය තමන්ට ඉතා වැදගත් අවස්ථාවක් වූ බවත්ය.
     
    තමන් මීට වසර 17කට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව පැවසූ පාණ්ඩේ මහතා, එදා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ගුවන්විදුලි සංස්ථාව වැනි වැදගත් ස්ථාන නැරඹීමට ගිය බවත් පැවසූ අතර එදා එම තැන් අධි ආරක්ෂිත කලාපවල පිහිටා තිබූ බවත් රටේ ප්‍රධාන නගරය හා අනෙකුත් ස්ථාන කැළිකසලෙන් ගහනව පැවති බවත් පැවසීය. එසේ වුවද ත්‍රස්තවාදය තුරන් කිරීමෙන් අනතුරුව අද වන විට රටේ පිරිසිදු බව ඉතා උසස් මට්ටමක පවතින බවත් අගනගරය ඇතුළු සෑම ස්ථානයක් ම ඉතාමත් ම ක්‍රමානුකූලව හා අලංකාර ආකාරයට සකසා ඇති බවත් පැවසූ ඒ මහතා මෙම තත්ත්වය දැකීමෙන් තමා ඇතුළු තම ජනමාධ්‍යවේදී පිරිස ඉතා පුදුමයට පත් වූ බවත් අවධාරණය කළේය.
     
    අද මේ රටේ එකි ස්ථානවල ආරක්ෂිත වැටවල් හෝ වැලිකොට්ට තබා නැති බවත් ඉතා ආකර්ෂණිය අයුරින් පවත්වාගෙන යන බවත් පැවසු මෙම ජනමාධ්‍යවේදී කණ්ඩා‍යමේ ප්‍රධානියා මෙය ඉතාමත් ම ප්‍රශංසනීය තත්ත්වයක් බවද පවසා සිටියේය.
     
    මේ විශේෂ නියෝජිත කණ්ඩායම කොළඹ දී ගංගාරාමය, බෙල්ලන්විල රජමහා විහාරය, බත්තරමුල්ල අපේ ගම, නිදහස් චතුරශ්‍රය වැනි ස්ථාන නැරඹීමට ද ගොස් ඇත. එසේ ම මෙහි නැවතී සිටින කාලය තුළ මහනුවර, නුවරඑළිය, හග්ගල, සීතාඑළිය, පින්නවල ආදි ස්ථාන නැරඹීමට ද නියමිත අතර ඊට අමතරව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ද යෑමට නියමිතය.
     
    කොළඹ සීනෝර් අවන්හලේ පැවැති විශේෂ උත්සවයට ප්‍රවීණ ජනමාධ්‍යවේදී ආචාර්ය එඩ්වින් ආරියදාස, ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ඔස්මන්ඩ් සේනාරත්න, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්ත ප්‍රිය රාමනායක, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.පී. ජයන්ත යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ උසස් නිලධාරීන් ඇතුළු ඉන්දු - ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීහු රැසක් සහභාගි වී සිටියහ.
     
    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya