අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනූව 29 වෙනිදා සිට පාසල් යළි ඇරඹේ - සියලුම පාසල් වල සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් රුපියල් මිලියන 485ක් Featured

    ජූනි 26, 2020

    කොවිඩ් වසංගතයෙන් පසු පාසල් සහ අධ්‍යාපන ආයතන සූදානම් කිරීම පිළිබද 2020/05/11 දිනැතිව නිකුත් කරන ලද චක්‍රලේඛයට අනූව ජුනි මස 29 වනදා පළමු අදියර ලෙස සියලුම පාසල් විවෘත කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා පවසයි.

    ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

    පාසල් යළි ඇරඹීම අදියර කිහිපයක් යටතේ සිදු කරන අතර ඉන් පළමු අදියර ලෙස ජූනි 29 වනදා විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙනුවෙන් සියලුම පාසල් විවෘත කිරීමට අපේක්ෂිතයි. පාසල් නැවත ආරම්භ කිරීමේදී අනුගමනය කිරීමට බලාපොරොත්තු වන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබදව මෙහිදී ලේකම්වරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබාදුන් චක්‍රලේඛය සහ මාර්ගෝපදේශයට අනූව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්, එම මාර්ගෝපදේශය මේ වන විට දිවයිනේ සෑම පාසලකටම ලබාදී ඇති බවයි.

    එමෙන්ම 29 වනදා පාසල් ඇරඹෙන විට සෑම පාසලක්ම සුරක්ෂිත ස්ථානයක් බවට පත්වී ඇතිද යන්න නිරීක්ෂණයට හෙට සිට සතියක කාලයක් තමා අධ්‍යාපන අමාත්‍යවරයාද සමග පාසල් අධීක්ෂණයට සහභාගී වන බව ලේකම්වරයා පැවසුවේය. තවද පාසල් ආරම්භ කරන දින වකවානු පිළිබදව සහ පාසල් ඇරඹීමට සූදානම් විය යුත්තේ කෙසේද යන්න පිළිබදව මීට පෙර පළාත් 9ටම ගොස් එහි විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලය සමග සාකච්ඡා කරමින් ඔවුන් දැනුවත් කළ බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේය.

    චකුලේඛයෙහි සදහන් වන අයුරින් පළාත් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු වෙත ඔවුන්ගේ වගකීම් පිළිබදව දැනුවත් කරමින් පාසල දරුවන්ට සුරක්ෂිත ස්ථානයක් බවට පත්කිරීමට කටයුතු කළ බවත් ලේකම්වරයා අවධාරණය කළේය.


    මාර්ගෝපදේශයෙහි සදහන් වන අයුරින් සෑම පාසලකම පිවිසුම් සහ පිටවන ස්ථාන අසල අත් සෝදන දියර, අත් පිසදමන ටිෂූ කඩදාසි, එම කඩදාසි ඉවතලෑම සදහා කසල බදුන් ආදිය තැබිය යුතු වෙයි. එය කොතරම් දුරට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබදව සාකච්ඡාවේදී ලේකම්වරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ එය අනිවාර්යයෙන්ම සෑම පාසලකම ක්‍රියාත්මක විය යුතු බවයි. එමෙන්ම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා රුපියල් මිලියන 485ක මුදලක් දිවයිනේ සියලුම පාසල් වෙනුවෙන් ලබාදී ඇති බවයි.

    මීටරේ පරතරය ළමුන් සදහා කෙසේ බලපැවැත්විය යුතුද යන්න පහදමින් ලේකම්වරයා ප්‍රකාශ ක‍ළේ ළමුන් පාසලට පැමිණීමේ සිට මෙම මීටරේ දුරස්ථභාවය තබාගත යුතු බවයි. මෙය පන්ති කාමරය තුළදී පවතින ඉඩකඩත් සමග ප්‍රායෝගිකව අසීරු විය හැකි බැවින් ළමුන් ගෙන්වීමේදී යම් සීමාවක් ඇතිව කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය. එනම් ළමුන් 40ක් සිටින පන්තියක එකවර ළමුන් 20ක් පමණ ගෙන්වාගනිමින් පන්ති දෙකක් වශයෙන් වෙන්කර සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් ඉගැන්වීම් කටයුතු කිරීමට අපේක්ෂිතය.

    මෙලෙස එකම පන්තියේ සිසුන් පන්ති දෙකකට වෙන්කර ඉගැන්වීමේදී ගුරුවරයාට තරමක් වෙහෙස වීමට සිදුවනු ඇති අතර නගරබද පාසල් වල පන්තියක සිටින ළමුන් සංඛ්‍යාව වැඩි බැවින් නාගරික ගුරුවරුන් හට එකම පාඩම අවස්ථා දෙකකදී දරුවන් වෙනුවෙන් ඉගැන්වීමට සිදුවනු ඇති බවද ලේකම්වරයා සිහිපත් කළේය.

    දීර්ඝ නිවාඩුවකින් පසු පාසල් ඇරඹීමත් සමග ළමුන් එක්රොක්වීමට ඉඩකඩ ඇති බැවින් සමාජ දුරස්ථභාවය ළමුන්ගෙන් ගිලිහී යා හැකි බව පිළිබදව විමසුමේදී ලේකම්වරයා කියා සිටියේ මෙම වකවානුව තුළ එකට ආහාරගැනීම් ආදිය සිදු නොකළ යුතු අතර ළමුන් ඒ පිළිබදව සහ සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම පිළිබදව පසුගිය වකවානුව පුරාම මාධ්‍ය ඔස්සේ සිදුකළ ප්‍රචාරයන් හරහා මනා දැනුවත්භාවයත් ලබාඇති බවට විශ්වාස කරන බවයි.

    මෙලෙස ළමුන් පාසල් වලට පැමිණීමේදීද දුරස්ථභාවය තබාගැනීම පිළිබදව ලංගම ඇතුළු ප්‍රවාහන සංගම් කිහිපයක් සමග සාකච්ඡා කරමින් ඔවුන් දැනුවත් කර ඇති බවත් ඔහු සිහිපත් කළේය.

    අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට අනූව, පාසල් ඇරඹීමත් සමග ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් පසුවිපරමෙහි යෙදෙනු ඇත. ළමුන් පාසල් වෙත ප්‍රවාහනයේදී දුරස්ථභාවය තබාගැනීම පිළිබද පොලීසිය විසින් පසුවිපරමෙහි යෙදෙන අතර, පාසල තුළ සෞඛ්‍යාරක්ෂාව පිළිබදව පසු විපරම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සතුව පවතී. මෙම තත්ත්වය හමුවේ ළමුන් පාසල් වෙත එවීමේදී දෙමාපියන් සතුවද විශාල වගකීමක් පවතී. එනම් දරුවාට මුඛ ආවරණයක් පළදා එවීමට, උණ සෙම්ප්‍රතිශ්‍යාව පවතී නම් දරුවා  පාසල් එයවා සිටීමට මෙන්ම දරුවාගේ ආහාරපාන, පානීය ජලය, පිරිසිදුභාවය පවත්වාගැනීම ආදිය කෙරෙහි දෙමාපියන්ගේ විශේෂ අවදානයක් යොමුවිය යුතුව ඇත. දරුවන් හටද මෙහිදී එක්තරා වගකීමක් පැවරෙනු ඇත. මගතොටේදී සහ තමා පාසලට පැමිණෙන ප්‍රවාහන මාධ්‍ය තුළදී නියමිත දුරස්ථභාවය පවත්වා ගැනීමත් පාසල තුළදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමත් පිළිබදව සෑම දරුවෙකුම සැලකිලිමත් විය යුතුය.

    පසුගිය වකවානුව තුළ සිසුන් හට ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබාදීමට බොහෝ පාසල් වල ගුරුවරුන්ට හැකිවිය. නමුත් තාක්ෂණික පහසුකම් නොමැති දුෂ්කර පාසල් වල දරුවන් මෙම අභියෝගයට මුහුණ දෙනු ලැබුවේ මුද්‍රිත මාධ්‍යයෙන් සහ පැවරුම් ආදිය නිවෙස් වෙතට ලබාගනිමිනි. ඒ වෙනුවෙන් එම පාසල් වල ගුරුභවතුන් කළ කැපකිරීමද මෙහිදී ලේකම්වරයා සිහිපත් කළේය.

    උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාග සදහා ඉදිරියේදී දින නියම කෙරෙනු ඇත. එම දිනයන්ට අනූව විෂය නිර්දේශ ආවරණය කිරීම සදහා පවතින කාලසීමාව ප්‍රමාණවත් වේද යන්න ගැටලුවකි. මේ පිළිබදව ලේකම්වරයා පැවසුවේ ශිෂ්‍යත්ව විභාගය සදහා පවතින කාල සීමාව විෂය නිර්දේශ ආවරණයට ගැටලුවක් නොවන අතර පාසල් ආරම්භයත් සමග උසස් පෙළ සිසුන්ගෙන් විමසීම් කර ඔවුන්ගේ පිළිතුරු සලකා බලා සාධාරණ කාලයකදී විභාගය පැවැත්වීමට කටයුතු කරන බවයි.

    පසුගිය වසරේ පාස්කු ප්‍රහාරයද මෙම වසරේ කෝවිඩ් වසංගතයද අප රටෙහි පාසල් වසන්නට හේතුවක් විය. නමුත් එම අභියෝග හමුවේ ක්‍රියාත්මක වූ ආරක්ෂිත වැඩපිළිවෙල මෙවරත් මුල් කාලයට පමණක් සීමා වෙනු ඇතිද යන්න විමසීමේදී ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ පාස්කු ප්‍රහාරය හමුවේ ආරක්ෂක විදිවිදාන යෙදූ අතර මෙම අවස්ථාවේදී සෞඛ්‍යාරක්ෂිත විදිවිදාන
    අනුගමනය කළ යුතු බවයි. එම තත්ත්වය තුළ පාසල් තුළ බාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩා ආදිය නතර කර සම්පූර්ණ කාලය අධ්‍යාපනය වෙනුවෙන්ම යෙදවිය යුතු අතර සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇති කියනතාක් මෙම සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යා යුතු බවයි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya