අපරාධ වැළැක්වීම හා අපරාධ යුක්තිය, සාපරාධී කටයුතු සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම මැඩපැවැත්වීම හා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ පසුගිය සතියේ පැවති එක්සත් ජාතින්ගේ මහා සම්මේලනයේ (UNGA) තුන්වැනි කමිටු රැස්වීමේ දී නිව්යෝර්ක් නුවරදී කළ මැදිහත්වීමකදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ, එක්සත් ජාතින්ගේ හා මානව සම්පත් අංශයේ සහකාර අධ්‍යක්ෂිකා ප්‍රමුදිතා මනුසිංහ මහත්මිය විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී.
දේශසීමා ඉක්මවා සංවිධානය කරනු ලබන අපරාධවලට අදාළව නිර්මාණයවන තර්ජන මැඩපැවැත්වීම සඳහා එක්සත් ජාතින්ගේ කාර්යාල හා වෙනත් සමාජික රටවල් සමඟ සමීපව කටයුතු කරමින් මේ සම්බන්ධ ප්‍රතිචාර ශක්තිමත් කිරීමෙහිලා සහ මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව ශ්‍රී ලංකාව පූර්ණවශයෙන්කටයුතු කරන බව ඇය ප්‍රකාශ කළාය.මත්ද්‍රව්‍ය නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමේ හා ජාත්‍යන්තර අපරාධ යන ගැටලුව මැඩපැවැත්වීම සඳහා අප රට ගෙන ඇති ප්‍රයත්න උදෙසා තාක්ෂණික සහය ලබාදීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතින්ගේ කාර්යාලය හා දකුණු ආසියාව සඳහා වූ එහි කලාපීය කාර්යාලවලටද ඇය ස්තූතිය පුද කළාය.
අන්‍යෝන්‍ය නීති සහාය හා උදර්පණය ඇතුළුව සාපරාධි කටයුතු මැඩපැවැත්වීමේදී ජාත්‍යන්තර සහයෝගිතාව ලබාදීමේ වැදගත්කම මනුසිංහ මහත්මිය අවධාරණය කළාය.මෙම අපරාධ වැළැක්වීම හා මර්දනය සඳහා බහුපාර්ශ්වික සහයෝගිතාව වැඩිදියුණු කර ඇති අතරම,සියලු ආකාර වූ අපරාධ හා එහි විද්‍යාමානවීම් ජාතික මට්ටමින් වළක්වා ගැනීම හා මර්දනය කිරීම සඳහා නීතියේ ආධිපත්‍යය අඛණ්ඩව සුරැකීමට ශ්‍රී ලංකාව ඇප කැප වී කටයුතු කරන බව ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාව 2015 වසරේ දී බුඩාපේස්ට් සයිබර් අපරාධ සම්මුතියේ පාර්ශ්වකාර රටක් බවට පත්වීමෙන් අනතුරුව, සයිබර් අපරාධ පාලනය කරන ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුකූලව දේශීය නිතීකරණය නැවත සකසා තිබේ. පසුගිය වසරේ දී පරිපූර්ණ සයිබර් ආරක්ෂක උපාය මාර්ගයක් පිළිගෙන තිබෙන බවත් සයිබර් ආරක්ෂාව හා දත්තවල සුරක්ෂිතභාවය පිළිබඳ නීතිකරණය කෙටුම්පත් කරඇති බවත් ඇය සවිස්තරාත්මකව ප්‍රකාශ කළාය.
මහලේකම්වරයා විසින් ආරම්භ කරන ලද වෛරී ප්‍රකාශ පිළිබඳ එක්සත් ජාතීන්ගේ උපාය මාර්ග සඳහා සහාය දක්වන බව ශ්‍රී ලංකාව තව දුරටත් ප්‍රකාශ කළාය. රැඩිකලීකරණය, අන්තවාදය හා ත්‍රස්තවාදය යන ඒවායින් කිසිදු රටක් නිදහස නොලබන බව පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් සියලු රටවලට ප්‍රබල ලෙස මතක් කර දුන් බව එම ප්‍රහාරවලින් ශ්‍රී ලංකාව ලද අත්දැකීම් කෙරෙහි අවධානය යොමුකරමින් අවධාරණය කරන ලදී. සියලු ආකාර වූ වර්ගවාදය, වෛරය හා ප්‍රචන්ඩ අන්තවාදය හෙළා දකිමින්, ශ්‍රී ලංකාව මෙම ගෝලීය උවදුරුවලට එරෙහිව සටන් කිරීමට සහ ඒවායේ මූල හේතුවලට විසඳුම් ලබාදීමට සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කිරීමට දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නා ලෙස සියලුම රටවලින් ඉල්ලා සිටියාය.
කාන්තා අභිවෘද්ධිය පිළිබඳ න්‍යාය පත්‍රය යටතේ එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ තුන්වැනි කමිටුවට සම්බන්ධවෙමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ හා මානව සම්පත් අංශයේ සහකාර දිලිනි ගුණසේකර මහත්මිය, වසර 30කට ආසන්න කාලයක් මුළුල්ලේ අප රට පීඩාවට පත්කළ බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් අනතුරුව, යුද්ධයෙන් පීඩාවට පත් වැන්දඹු කාන්තාවන් ඇතුළුව කාන්තා මූලික ගෘහයන් අරමුණු කර ගනිමින් කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමෙහි ලා ශ්‍රී ලංකාව ප්‍රයත්න දරන බව ප්‍රකාශ කළාය. එක්සත් ජාතීන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ තේමා කණ්ඩායමේ සහාය ඇතිව, සෞඛ්‍යය, ආදායම් ආරක්ෂාව හා මනෝ -සමාජ සේවා පිළිබඳව කාන්තා මූලික ගෘහයන් සඳහා ජාතික කාර්ය සැලැස්මක් ශ්‍රී ලංකාව සකසා තිබෙන බව ඇය අවධාරණය කළාය.
ස්ත්‍රී පුරුෂ සමානාත්මභාවය, කාන්තාවන් සහ ගැහැණු ළමුන් සවිබල ගැන්වීම පිළිබඳ ධනාත්මක වෙනසක් වේගවත්ව ඇති කිරීම හා සාමය උදාකර ගැනීමේදී හා සාමය පවත්වාගෙන යාමේ දී ඔවුන්ගේ මානව හිමිකම් සඳහා ගරු කරන, ජපාන රජයේ සහ එක්සත් ජාතීන්ගේ කාන්තා වැඩසටහනේ සහය ලබාගැනීමත් සමගම 1325 එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව කාර්ය සැලැස්මක් සකස් කිරීමට ශ්‍රී ලංකාව ක්‍රියා මාර්ගයක් දියත් කර තිබෙන බව දැනුම් දුන්නාය.
“ක්‍රියාකාරීත්වය සඳහා බීජිං වේදිකාවේ”25 වැනි සංවත්සරය මීලඟ වසරට යෙදී තිබීම පිළිබඳ අවධානය යොමු කරමින්, මෙතෙක් අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ පරිපූර්ණ සමාලෝචනයක යෙදීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව හා කාන්තා සවිබල ගැන්වීම සඳහා ඇති බාධක මඟහැරීමට කටයුතු කිරීමේ දී හමුවන පරතර හඳුනාගැනීම කාලෝචිත වන බව ඇය ප්‍රකාශ කළාය.
නිව්යෝර්ක් හි පැවැති එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ 74 වන සැසිවාරයට සහභාගීවන ශ්‍රී ලංකාවේ තරුණ නියෝජිතයින් වන ගංගුලැලි ද සිල්වා මහත්මිය සහ අම්රිත් එදිරිසූරිය මහතා ද පසුගිය සතියේ පැවැති “සමාජ සංවර්ධනය” පිළිබඳ තුන්වැනි කමිටු සාකච්ඡාව ඇමතූහ.
සමාජ සංවර්ධනයේ එක් අංගයක් වශයෙන්, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් නියෝජනය කරමින්, තරුණ නිපුනතා හිදැස පිරවීමෙහි ලා ඇති අභියෝග කෙරෙහි සහ තරුණ තරුණියන් සවිබල ගැන්වීමේ කටයුතු සහ තරුණ තරුණියන් ඇතුළුව සමාජ අසහනයට හා සමාජ අස්ථායීතාවයට හේතුවන ප්‍රධාන ප්‍රභවයන් මුලිනුපුටා දැමීම සඳහා විසඳුම් හඳුනාගැනීමේ අවශ්‍යතාව කෙරෙහි නියෝජිතයෝ අවධානය යොමු කළහ.
ශ්‍රී ලංකාවේ ජනතාව යථා තත්ත්වයට පත්වීම, විශේෂයෙන්, පාස්කු ඉරුදින එල්ලවූ ප්‍රහාරවලින් පසු තත්ත්වය පිළිබඳව සිහිපත් කරමින්, සමාජ එකාබද්ධතාව කෙරෙහි අවධානය යොමුකිරීමේ හා එක් ශ්‍රී ලාංකික ප්‍රජාවක් ඇති කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. “අතීත සිදුවීම්වලින් ඉගෙනීම, අසාර්ථකවීම් පිළිගැනීම හා ඉදිරියට ගමන් කිරීමේ විධි ක්‍රම සෙවීම වැදගත් වේ. අනෙකාට ගරු කරමින් සුවපත්වීමේ හා ප්‍රතිසංවිධාන ක්‍රියාවලියෙන් තරුණ තරුණියන් මග පෙන්වීම ලබාගත යුතුය.” යන්න මෙම තරුණ නියෝජිත පිරිස විසින් ප්‍රකාශ කරන ලදී.
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 ඔක්තෝම්බර් 11 වැනි දින