ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත සිදු කරනු ලබන මෙම වැඩපිළිවෙළ මඟින් මෙතෙක් සංරක්ෂණය වී නොමැති, එහෙත් පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත භූමියක් ලෙස අනුමාන කෙරෙන මඩකලපු දිස්ත්‍රික්කයේ තලවායිකන්ඩම් ස්ථානයේ පසුගිය දා පුරාවිද්‍යා පරීක්ෂණ කැණීමක් ආරම්භ කරනු ලැබීය.
මඩකලපුවේ චෙන්කලඩි එරාවුර්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පන්කුඩාවලි ග්‍රාමනිලධාරි වසමට තලවායිකණ්ඩම් ප්‍රදේශය අයත් වේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම පරීක්ෂණ කැණීම් ආරම්භ කරන ලද්දේ එරාවුර් උසාවියෙන් ලබාදුන් නියෝගයක් ද උපයෝගී කරගනිමින්.
මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන අතරින් වැඩි ප්‍රමාණයක් අනුරාධපුර යුගය නියෝජනය කරන අතර, පුළුකුනාව, පොන්ඩුහල්චේන, කුසලානමලේ, තොප්පිගල අවට නටබුන් ඒ අතර ප්‍රමුඛ වැදගත්කමක් හිමිවේ. විශේෂයෙන් ම පන්කුඩාවලි පුරාවිද්‍යා නටබුන් අනුරාධපුර යුගය නියෝජනය කරන බව සාධක සහිත ව තහවුරු වී තිබේ.
පන්කුඩාවලි පුරාවිද්‍යා භූමියෙහි කළ කැණීම් පරිශ්‍ර 23කින් අනාවරණය වූ තොරතුරු අනුව, ගඩොල් බැමි, පැරණි ගඩොල් කැට, උළුකැට, එකතැන ගොඩගසා ඇති ගල් කණු, සදකඩපහණ, මුරගල්, සිරිපතුල් ගල්, උඩලිපත, පිළිම පාදම් කොටස් ආදිය හමුවී ඇති අතර මතුපිට ඇති නටබුන් සහ දාගැබ් ගොඩැල්ලේ සාධක අනුව මෙම ස්ථානයෙහි බෞද්ධ ආගමික සංකීර්ණයක ලක්ෂණ ප්‍රකට කරවන බවයි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මෙම පරිශ්‍රයෙහි දෙවැනි අදියරේ සිදුකළ කැණීම් මඟින් දාගැබක ශේෂ නටබුන්, ප්‍රාකාර බැමි, දාගැබ් වේදිකාවක් හමුවී ඇති අතර, පසුකාලීන ව අවතැන් වූ ගල්කණු භාවිතයෙන් දාගැබ වටා ඉදිකරන ලද රවුම් ගඩොල් ඇතුරුමක් ද, ගල්කණුවලට ම සම්බන්ධ කර ගඩොලින් ඉදි කළ තවත් ගඩොල් බැම්මක් ද හමුවී තිබේ.
මීට අමතරව පොළව මට්ටමේ සිට අඩි 3 ½ ක ගැඹුරින් පාදමක් සහිතව ඉදිකළ දොරටුවක කොටස්, ඊට ආසන්නයෙහි කොරවක්ගල් දෙකක්, ප්‍රාකාර බැමි දෙකක්, දාගැබේ අඩි 5ක් පමණ උසට විවිධ හැඩතල සහිත වරි කිහිපයක් හමුවී ඇති අතර, ධාතු ගර්භය නිදන් හොරුන් විසින් හාරා විනාශ කර ඇති බව හෙළිවනවා. කැණීම් අතරතුර ලෝහමය කාසි කිහිපයක් ද, වීදුරු කරඬුවක් යැයි අනුමාන කළ හැකි කොටසක් ද, පබළුවක් ද, නාග පෙණ 5කින් සමන්විත ලෝහමය නාග රූපයක් ද හමුවී තිබෙන අතර, ඉපැරණි වළං කැබලි, උළු කැබලි, හැඩතල කැපූ ගඩොල් කැබලි ද මෙම පරිශ්‍රයෙන් සොයාගෙන තිබෙනවා.
මීට පෙර, ලංකාවේ පැරණිත ම ගල් පාලම හමුවී ඇත්තේ ද මඩකලපුව පාසිකුඩා සහ වාලච්චේනි ප‍්‍රදේශයන්ට උතුරින් වූ කායන්කේනි වගුරුබිම ආසන්නයෙනුයි. එම ගල්පාලම දිගින් මීටර් 240 ක් වන බවත් එය ශී‍්‍ර ලංකාවේ මෙතෙක් සොයාගෙන ඇති දිගම ගල්පාලම බවත් අනාවරණය වී තිබේ.
පුරා විද්‍යා ස්මාරක පාදාගැනීම සඳහා පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පී බී මණ්ඩාවල මහතාගේ අධීක්ෂණයෙන් අම්පාර ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය මඟින් මෙම ප්‍රදේශයෙහි තවදුරටත් කැණීම් කටයුතු සිදුකෙරේ.