අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පාසල් ගුරුවරුන්ට අද සිට ස්ථාන මාරු

    ඔක්තෝබර් 12, 2017

    වසර 10කට වඩා ජාතික පාසල්වල සේවය කළ ගුරුවරුන් 12,000ක් අතරින් 3,000කට අද (12) සිට ස්ථාන මාරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    පසුගිය වසර ගණනාවක් මුළුල්ලේ ක්‍රියාත්මක වීම ඇනහිට තිබූ ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වහා කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලබාදුන් උපදෙස් අනුව මෙම පියවර ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    වඩාත් ප්‍රශස්ත ගුරු උපයෝජනයක් මඟින් අධ්‍යාපන පද්ධතියේ ප්‍රමුඛතම මානව සම්පත යොදවාගැනීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, දීර්ඝ කාලයක් එක ම පාසලක සේවය කිරීම නිසා ඇතිවන ඒකාකාරීබව දුරුකරමින් නව අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව සැලසීම හා එමඟින් ගුරුභවතුන්ගේ රාජකාරී අත්දැකීම් පරාසය පුළුල් කිරීම මෙහි අරමුණ වේ.

    මෙම ගුරු මාරු අදියර කිහිපයකින් සිදු කිරීමට සැලසුම් කර තිබෙන අතර පළමු අදියර ලෙස අ.පො.ස උසස් පෙළ පන්තිවලට අදාළව ඉගැන්වීම සිදුකරන ගුරුවරුන් අද දින මාර කර යවනු ලැබේ.

    මෙම වැඩසටහනෙහි දෙවැනි අදියර 2018 වසරේ ජනවාරියේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර එහි දී 1 සිට 11 ශ්‍රේණි දක්වා වන ගුරුවරුන් 9,000කට ස්ථාන මාරු ලබාදීමට නියමිතයි.

    මෙලෙස ගුරුවරුන් මාරු කිරීමේ දී ඇතැම් දුෂ්කර ප්‍රදේශවල ජාතික පාසලක් සමීපයේ තවත් ජාතික පාසලක් නොමැති අවස්ථාවල දී පළාත් සභා සමඟ ද ඒකාබද්ධව අදාළ ගුරුවරුන්ට ස්ථාන මාරු ලබාදීමේ වැඩපිළිවෙළක් ද සකස්කිරීමට නියමිතයි.

    මේ වනවිට ජාතික පාසල් 353 හි ගුරුවරුන් 37000කට ආසන්න පිරිසක් සේවය කරන අතර ඉන් 1/3ක් , එනම් 12000කට ආසන්න පිරිසක් වසර 10කට වඩා එකම පාසලක සේවය කර තිබීම විශේෂත්වයක්.

    විනිවිදභාවයෙන් යුක්තව මාරු මණ්ඩල පිහිටුවමින් ගුරු සංගම් ද සම්බන්ධ කරගනිමින් අදාළ ස්ථාන මාරු ලබාදීමට තමා උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya