නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රදේශවල නායයාම වැළැක්වීමට පියවර ගන්නවා - අගමැති Featured

    ජූනි 17, 2017

    ආපදාවට ලක්වූ ජනතාව නැවත පදිංචි කිරීමට සහ නැවත මෙම ප්‍රදේශ නාය යාමකට ලක් නොවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

    ඉදිරි වසර පහ හය තුළ එය සිදු කිරීමට  විදේශ ආධාර සහ රටේ මුදල්ද යෙදවීමට සිදු වන බවත් මෙවැනි ආර්ථික ගැටලු සඳහාත් මුහුණ දෙමින් රජය මෙම සහන සැලසීමේ වැඩකටයුතු සිදු කළ යුතු අතර මෙය සිදු කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    මෙවර ආපදාව සිදුවූ අවස්ථාවේදීම මහ බැංකුවෙන් රුපියල් බිලියන දෙකක මුදලක් තමා ඉල්ලා සිටි බවත් මෙම ප්‍රදේශවල ආර්ථිකය නැවත නගාසිටුවීමට සහ ජනතාවට අවශ්‍ය ණය මුදල් ලබාදීමට අප එය යොදවන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

    මොරවක, කොටපොල ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී රාජ්‍ය නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

    ආපදාවට පත්වූ ප්‍රදේශවල විශාල කර්මාන්ත ශාලා ඉදිකරමින් ග්‍රාමීය ආර්ථිකය නැවත නගා සිටුවීමට උපකාර කිරීමට පුද්ගලික ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු කැමැත්ත පළ කර තිබෙන බවත් මෙම ප්‍රදේශවල කුඩා ව්‍යාපාර සඳහා ආධාර ලබාදීමට විශේෂ ණය ක්‍රමයක් සහ යෝජනා කීපයක්ම ලැබී තිබෙන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

    ආපදාවට පත්වූ දිස්ත්‍රික්ක 05ම සලකා බලන විට අක්කර 3000ක පමණ තේ වගාවට හානි සිදුවී තිබෙන බව සඳහන් කළ අගමැතිවරයා එමනිසා එම තේ කර්මාන්තය නැවත නගා සිටුවීමට නිවාස ඉදිකරදීමට ආර්ථිකය නගා සිටුවීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

    එම සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.

    ගංවතුරෙන් ආපදාවට පත් ජනතාවට එම අවස්ථාවේම සහන සැලසීමට රජයක් ලෙස අපි ක්‍රියා කළා. ගංවතුර ආපදා තත්වය මේ වන විට අවසන් වී තිබෙනවා. දැන් සිදු කිරීමට තිබෙන්නේ ආපදාවට පත් ප්‍රදේශ නැවතත් යථා තත්වයට පත්කිරීමයි. ඒ පිළිබද කරුණු අවබෝධ කරගනිමින් සහ සාකච්ඡා කරමින් අවශ්‍ය සහන සැලසීමට අප කටයුතු කරනවා. පසුගිය අඟහරුවාදා දිනයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍යවරුන් සහ නිලධාරින් සහභාගි වූ සාකච්ඡාවේ දී මේ පිළිබදව අවශ්‍ය කටයුතු සිදු කිරීමට අප තීරණය කළා.
    මීට පෙර අදහස් දැක්වූ ඇමතිවරුන් දෙදෙනාම පැවසූ පරිදි සහන සැලසීමේ කටයුතුවල දී අප සාර්ථක ලෙස ක්‍රියා කළේ කෙසේදැයි විශේෂයෙන් මා පැවසිය යුතුයි. එලෙස සාර්ථක වීමට හැකි වූයේ එම අවස්ථාවේදී දක්ෂ ලෙස ක්‍රියා කළ නිලධාරින් නිසයි. බදාදා පස්වරුව වන විට ගංවතුර තත්වයක් ඇති විය හැකි යැයි තොරතුරු ලැබී තිබුණා. ඊට සූදානම් වීමට බ්‍රහස්පතින්දා දිනයේ අප වැඩකටයුතු රාශියක් සිදුකළා. ස්වදේශ කටයුතු අමාත්‍යවරයා දිසා ලේකම්වරුන්ගේ හමුවට පැමිණ සිටි නිලධාරීන් දැනුවත් කොට වහාම ඔවුන්ගේ ප්‍රදේශ කරා පිටත්කර හැරියේ ඇති වන ගංවතුර තත්වයට මුහුණ දීමට උපදෙස් ලබාදීමෙන් අනතුරුවයි. එමෙන්ම පොලිසියත්, නාවික හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවත් ආපදා තත්වයට මුහුණ දීමට සූදානමින් තැබුවා.
    එදින රාත්‍රියේ වාර්ෂාව දැඩි ලෙස ලැබීම හේතුවෙන් තත්ත්වය තවත් බරපතල වූ අතර මෙම කොටපොළ මෙන්ම කුකුළේගඟ ඇතුළු අවට ප්‍රදේශ රැසකට විශාල ගංවතුර තත්වයක් ඇතිවුණා. 2003 වසරේ ඇතිවූ විශාල ගංවතුරට සමාන ආපදාවකට මුහුණ දීමට අපට සිදුවුණා.
    එම ආපදා තත්වයේදී ජනතාවට සහන සැලසීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අපට හැකිවුණේ පෙර සිටම සැලැස්මක් තිබූ නිසයි. සිකුරාදා උදෑසන සිට ආපදා කළමණාකරණ අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා ත්‍රිවිධ හමුදාව ඇතුළු අනෙකුත් ආයතන යොදා ගනිමින් සහන සැලසීමේ කටයුතු මෙහෙයවීමට කටයුතු කළා. ඒ සියළු මෙහෙයුම් කටයුතු සාර්ථක වුණේ සියළුම රාජ්‍ය නිලධාරින් කැපවීමෙන් වැඩකළ නිසයි. ඔවුන් සියලු දෙනාම තම ජීවිත හෝ දේපල පිළිබඳ නොසිතා ආපදාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සදහා උපරිමයෙන් දායක වුණා. රාජ්‍ය සේවකයන් පමණක් නොව පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවත් මෙම කටයුතු සදහා විශාල දායකත්වයක් ලබා දුන්නා.
    නෙළුව ප්‍රදේශයේ සහන සැලසීමේ කටයුතු වලදී ජිවිතක්ෂයට පත්වූ ගුවන් හමුදා නිලධාරියා ගැන විශේෂයෙන් සිහිකළ යුතුයි. එවගේම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, පළාත් සභා මන්ත්‍රිවරුන් ආදී සියලුම දේශපාලඥයන්ද මෙම අවස්ථාවේදී විශාල දායකත්වයක් ලබා දුන්නා. සහන සැලසීමේ කටයුතු සාර්ථක වුණේ මේ සියලු දේ නිසයි.
    විනාශයට පත්වූ සියලු ප්‍රදේශ සහ දේපල හඳුනාගෙන ඒවා යථා තත්ත්වයට පත්කිරීම දැන් සිදු කළ යුතුව තිබෙනවා. රටේ පවතින මුල්‍ය තත්ත්වය මත මේ පිළිබඳව සාකච්ඡා කරමින් ජනතාවට අවශ්‍ය විසඳුම් ලබාදීමට අප සූදානම්. ආපදාව සිදුවූ සතියේ සෙනසුරාදා දිනයේ ජනතාවට සහන සැලසීමට ප්‍රධාන තීරණ දෙකක් අප විසින් ගනු ලැබුවා. ඉන් පළමුවැන්න ලෙස ජනාධිපතිතුමා කළුතර ප්‍රදේශයේ සංචාරය කරමින් හානි වූ නිවාස සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට තීරණය කළා. හානිවූ ජන ජීවිත යථා තත්ත්වයට පත්කිරීම නම් පළමුවෙන්ම ජනතාවට නිවාස පහසුකම් සලසාදිය යුතුයි. දෙවන තීරණය ලෙස ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කරන ආකාරය පිළිබඳව අදාළ බලධාරින්ට උපදෙස් මා  ලබා දුන්නා. එහි පියවර කීපයක් ක්‍ෂණිකව ක්‍රියාත්මක කිරීමට ද අපට හැකි වුණා.
    නිවාස ලබාදීම සදහා සම්පූර්ණ, අර්ධ සහ සුළු වශයෙන් හානියට පත්වූ නිවාස පිළිබඳ අප වාර්ථාවක් ලබා ගත්තා. එහි 50% මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙනවා.  එම නිවාස සඳහා ආධාර ලබාදීමට මහ බැංකුව හරහා රුපියල් මිලියන 15 – 20ත් අතර මුදලක් මේ වන විට අප ලබාගෙන තිබෙනවා. එම මුදලින් හානියට පත් සියලු නිවාස සදහා ආධාර ලබාදීමට අප කටයුතු කරනවා. නමුත් ඊට පෙර නිවාස අහිමිව කුඩාරම්වල ජීවත්වන ජනතාවට කුලි පදනම මත නිවාස සොයා ගැනීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට අප තීරණය කර තිබෙනවා. ඉන් පසුව එම ජනතාවට සිය නිවෙස් නැවත ඉදිකර ගැනීම සදහාත් මුදල් ලබාදෙනවා. මේ වන විට ඊට අදාල තක්සේරු කිරීම්ද අවසන් කර තිබෙනවා. මේ සඳහා මහා භාණ්ඩාගාරය වෙනත් අරමුදල් විදේශ ආධාර සහ පුද්ගලික පරිත්‍යාගශීලින් ඉදිරිපත් වී තිබෙනවා.
    මෙවර ආපදාවෙන් අනතුරුව කඩිනමින්ම විනාශ වූ ආර්ථිකය නගා සිටුවීමට අප තීරණය කළා. 2003 දී සහ සුනාමි අවස්ථාවේදී විනාශ වූ ගොඩනැගිලි සහ නිවාස ඉදිකළත් විනාශ වූ ආර්ථිකය නගා සිටුවීමට අමතක කළා. නමුත් මෙවර ආපදාව සිදුවූ අවස්ථාවේදීම මහ බැංකුවෙන් රුපියල් බිලියන දෙකක මුදලක් මම ඉල්ලා සිටියා. මෙම ප්‍රදේශවල ආර්ථිකය නැවත නගාසිටුවීමට සහ ජනතාවට අවශ්‍ය ණය මුදල් ලබාදීමට අප එය යොදවනවා.

    ආපදාවට පත්වූ ප්‍රදේශවල විශාල කර්මාන්ත ශාලා ඉදිකරමින් ග්‍රාමීය ආර්ථිකය නැවත නගා සිටුවීමට උපකාර කිරීමට තමන් සූදානම් බව පුද්ගලික ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් ද මා සමග පවසා සිටියා. ඒ සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබාදීමටත් අප සූදානම්.  මේ ප්‍රදේශවල කුඩා ව්‍යාපාර සඳහා ආධාර ලබාදීමට විශේෂ ණය ක්‍රමයක් සහ යෝජනා කීපයක්ම අපට ලැබී තිබෙනවා. මුදල් අමාත්‍යාංශය හරහා ඒ පිළිබද සාකච්ඡා කරමින් ලබාදිය හැකි මුල්‍යාධාර වෙන්කිරීමට අප කටයුතු කරනවා. ආපදාවට පත්වූ දේපල සදහා රක්ෂණාවරණ ලබාදීමට රක්ෂණ ආයතන තවමත් ඉදිරිපත් වී නැතැයි චෝදනාවක් එල්ල වෙනවා. ඒ පිළිබඳව අප සලකා බලා කටයුතු කරනවා. හානිවූ දේපල වෙනුවෙන් ජනතාවට රක්ෂණ මුදල් ලැබෙනවා නම් ප්‍රදේශයේ ආර්ථිකය නැවත සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට හැකියාව ලැබෙනවා.  මේ ප්‍රදේශවල ඇතැම් නගර මුළුමනින්ම ජලයෙන් යටවුණා. ඇතැම් නගරවල කොටසක් ජලයෙන් යටවූ අතර හානි නොවූ නගරත් තිබෙනවා.
    මේ ප්‍රදේශයේ ආර්ථිකය විශාල වශයෙන් රඳා පවතින්නේ තේ කර්මාන්තය මතයි.  දකුණේ ආර්ථිකය පිළිබඳ සලකා බලන විට සංචාරක සහ ධීවර කර්මාන්තය වෙරළබඩ ප්‍රදේශයන්හි තිබෙන අතර දකුණේ අභ්‍යන්තර ප්‍රදේශවල තිබෙන්නේ තේ කර්මාන්තයයි. ආපදාව හේතුවෙන් තේ කර්මාන්තයට සිදුවී ඇති ප්‍රධානම බලපෑම නම් මාර්ග පද්ධති හානියට පත්වී තිබීමයි. තේ දළු කර්මාන්ත ශාලා සඳහා ගෙනයාම පහසුකරවීමට ප්‍රාදේශීය සභා පළාත් සභා මාර්ග පද්ධති සහ පාලම් කඩිනමින් පිළිසකර කළ යුතු වෙනවා. ආපදාවට පත්වූ දිස්ත්‍රික්ක 05ම සලකා බලන විට අක්කර 3000ක පමණ තේ වගාවට හානි සිදුවී තිබෙනවා. එමනිසා එම තේ කර්මාන්තය නැවත නගා සිටුවීමට නිවාස ඉදිකරදීමට ආර්ථිකය නගා සිටුවීමට අප කටයුතු කරනවා.
    එමෙන්ම හානියට පත් වාරිමාර්ග සෞඛ්‍ය සහ පාසල් පද්ධති ද නැවත පිළිසකර කිරීමට සිදුව තිබෙනවා. පිටබැද්දර ප්‍රදේශයේ ඊයේ දිනයේ නිරීක්ෂණය කරන විට ජනතාව වාර්ෂාවට බියක් දක්වන බව මට පෙනුනා. ඊයේ රාත්‍රියේදී මටත් වර්ෂාව පිළිබදව සැකයක් ඇතිවුණා. එමනිසා වර්ෂාවෙන් ජනතාවට ඇතිවන බිය පහකරමින් ඔවුන්ට වෙනත් වාසස්ථාන ලබාදීමටත් අප ඉදිරියේදී කටයුතු කරනවා.
    චන්දිම රාසපුත්‍ර ඇමතිතුමා පැවසූ ආකාරයට පළාත් සභාවලට අවශ්‍ය ආධාර මුදල් ලබාදීම සිදුකළ යුතුව තිබෙනවා. දේශපාලන බේදයකින් තොරව පළාත් සභා, මධ්‍යම ආණ්ඩුව ඇතුළු සියළුම දෙනා මෙම ආපදා අවස්ථාවේදී කටයුතු කළ නිසා සහන සැලසීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අපට හැකි වුණා. දැනට පවතින අයවැයෙන් ඇතැම් ව්‍යාපෘති සදහා මුදල් ලබාගැනීමට හැකියාව තිබෙනවා. ඇතැම් සහන සැලසීමේ ව්‍යාපෘති සඳහා මුල්‍යාධාර සොයා ගැනීමට අපට සිදුවනවා. අයවැයේ අත්‍යවශ්‍ය නොවන මුදල් වෙන්කිරීම්, මධ්‍යම ආණ්ඩුවෙන් සහ විදේශ ආධාරවලින් අප අවශ්‍ය මුදල් ලබාගන්නවා.
    දිවයිනේ සමස්ත ආපදාව පිළිබඳ ඇස්තමේන්තුවක් අපට තවමත් ලැබී නැහැ. බිලියන පනහක් සීයක් අතර මුදලක් ඒ සඳහා අවශ්‍ය වනු ඇති බව මහ බැංකුව පවසනවා. ඒ සඳහා මුදල් ලබාගැනීමට දැන් අපට සිදුවෙනවා.

    ආපදාවට ලක්වූ ජනතාව නැවත පදිංචි කිරීමට සහ නැවත මෙම ප්‍රදේශ නාය යාමකට ලක් නොවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් අප කටයුතු කරනවා. එයටත් විශාල වියදමක් දැරීමට සිදුවෙනවා. ඉදිරි වසර පහ හය තුල මෙය සිදුකිරීමටයි අප බලාපොරොත්තු වන්නේ ඒ සදහා විදේශ ආධාර සහ රටේ මුදල්ද යෙදවීමට සිදුවෙනවා. මෙවැනි ආර්ථික ගැටලු සඳහාත් මුහුණ දෙමින් අප මෙම සහන සැලසීමේ වැඩකටයුතු සිදු කළ යුතුයි.

    ඊයේ සහ අද දිනයේ මෙම ප්‍රදේශයන්හි සංචාරය කරමින් මෙම ප්‍රදේශය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු පිළිබඳව අවබෝධ කර ගැනීමට මට හැකියාව ලැබුණා. විශේෂයෙන් මෙම දිස්ත්‍රික්ක පහ තුළ හානිවූ ඉඩම් පිළිබඳ වාර්ථාවක් ලබාගැනීමෙන් අනතුරුව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයත් සහ වැවිලි සමාගම් එකතුකර ගනිමින් එම ඉඩම් සඳහා වන්දි ලබාදීමට අප කටයුතු කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya