මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලාංකීය ජාතිය නැවත කිසිකලෙකත් ගැටුම්කාරී අතීතයට පිවිසීමට ඉඩනොතබන බවට කැබිනට් මණ්ඩලය සහතික වේ

    ජූනි 15, 2017

    වරදකරුවන්ගේ සමාජ තත්ත්වය, ජනවාර්ගික හෝ ආගමික පසුබිම හෝ දේශපාලන පක්ෂපාතීත්වය නොතකා නීතිය ක්‍රියාත්මක වියයුතු බව අමාත්‍ය මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.


    අමාත්‍ය මණ්ඩලය විසින් නිකුත් කරන ලද එම විශේෂ නිවේදනය පහත සඳහන් වේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පවතින ජාතික සම්මුතිවාදී රජය, 2015 ජනාවාරි සහ අගෝස්තු මැතිවරණවලදී ලැබී ඇති ජනවරම ප්‍රකාරව ශ්‍රී ලාංකීය ජාතිය නැවත කිසිකලෙකත් ගැටුම්කාරී අතීතයට නොපිවිසෙන බවත්, ඒ වෙනුවට සංහිදියාව, තිරසාර සාමය සහ ආර්ථික සමෘද්ධීය ලගාකර ගැනීම උදෙසා කැපවන බවත් සහතික කරයි.

    වර්ගවාදී , ජනවාර්ගික සහ ආගමික වෛරයට , ප්‍රචණ්ඩත්වයට සහ දඩුවම් නොලබා වැරදි කිරීමට, අප ගොඩනැගීමට උත්සාහ කරන සමාජය තුළ කිසිදු ඉඩක් නොමැත. 

    මේ සන්දර්භය තුළ ඇතැම් ආගමික ස්ථාන, කඩසාප්පු හා ව්‍යාපාර ආයතන සහ නිවාස ඉලක්ක කරගෙන මෑතකදී ඇති වූ ප්‍රචණ්ඩ සිදුවීම් පිළිබදව අපගේ දැඩි අවධානය යොමුකර ඇත්තෙමු. 

    ප්‍රචණ්ඩත්වය වැපිරීමේ අරමුණින් ඇතැම් පුද්ගලයන් විසින් සිදු කරන වෛරීය ප්‍රකාශ ඇතුළු මෙම හිංසාකාරී ක්‍රියා, අපි තරයේ හෙළා දකිමු. 

    මෙම සිදුවීම හේතුවෙන්, පුද්ගලයන්ට සිදුවී ඇති දේපළ අලාභ හානි, ජීවනෝපායන් අහිමිවීම සහ මානසික අසහනය මෙන්ම බිය ගැන අපි අතිශයින් කණගාටු වෙමු. 

    කූට අරමුණු සහිත පුද්ගලයන් සහ කණ්ඩායම් විසින් සහෝදර පුරවැසියන්ට එරෙහිව අපහාසාත්මකව, අවමන් සහගතව හා ප්‍රචණ්ඩත්වය වපුරමින් සිදුකරන වෛරීය ප්‍රකාශ හා ක්‍රියාවලට ශ්‍රී ලාංකීය සමාජය තුළ කිසිදු තැනක් නොමැති බව අපි ස්ථීර ලෙස කියා සිටිමු.

    සංහිදියාව , සාමාකාමී සහජීවනය සහ නීතීයේ ආධිපත්‍ය සඳහා රජයේ කැපවීම යළි තහවුරු කරන අතරම , ඕනෑම ආගමික හා ජනවාර්ගික කොටසක් ඉලක්ක කරගෙන ප්‍රචණ්ඩ ක්‍රියා අවුළුවන්නන් හා වෛරී ප්‍රකාශ සිදුකරන්නන්ට එරෙහිව, වහාම රටේ නීතිය අනුව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට අපි උපදෙස් දී ඇත්තෙමු.


    ප්‍රචණ්ඩත්වය වපුරණ සහ හිංසනයේ නිරතවන සියලු පුද්ගලයන් හා කණ්ඩායම්වලට විරුද්ධව නොපමාව නීති ප්‍රකාරව දැඩි පියවර ගත යුතුය.


    එසේම සිදුකරන ලද ක්‍රියා සම්බන්ධයෙන් වගකිවයුතු අයට එරෙහිව ක්‍රියාමාර්ග කඩිනම් කරන මෙන් අපි නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට සහ නීතිපතිවරයාට උපදෙස් දෙමු. මන්ද යත් වැරදි ක්‍රියාවන්ට දඩුවම් නොදී සිටීම හරහා අප රට නැවත යුද්ධයක් වෙත තල්ලුවීමේ භයානක අවදානමකට මුහුණදීමේ අනතුරක් පවතින බැවිනි.


    අප රටේ අතලොස්සක් වූ පිරිසකගේ වෛරය පැතිරවීමේ උත්සාහයන් ව්‍යර්ථ කිරීමට පෙරට පැමිණි හා මේ මොහොතේ සංසුන්ව සිටීමේ හා සාමකාමී සහජීවනයේ වැදගත්කම පෙන්වාදී ඇති සිවිල් සංවිධාන හා ආගමික නායකයින්ට අපි අපගේ කෘතවේදීත්වය පළ කරමු. 


    ගෞතම බුදුන්ගේ ඉගැන්වීම්වලින් අවධාරණය කෙරෙන්නේ සහජීවනය, සහනශීලීත්වය, ගෞරවය හා කරුණාවයි. “ වෛරයෙන් වෛරය නොසන්සිදේ, අවෛරයෙන්ම වෛරය සන්සිදේ“ යන ගෞතම බුදුන්ගේ උතුම් හා නැණවත් වදන්වල අපට මගපෙන්වන සදාතනික නීතියකි. 


    මේ දේශය, සාමාකාමී සහජීවනය, මානව වටිනාකම් ආරක්ෂා කිරීම සහ කලාපයේ වඩාත්ම ප්‍රගතිශීලී ජාතීන්ගේ එකක් ලෙස නැවත ගොඩනැගීම සඳහා අවංකව හා වෙහෙස මහන්සි වී වැඩකිරීම වෙනුවෙන් අවශ්‍යවන මඟපෙන්වීම බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් යන ලොව ශ්‍රේෂ්ඨ ආගමික සම්ප්‍රදායන් සතරක ඉගැන්වීම්වලින් ආශීර්වාදය ලබා ඇත.


    දේශප්‍රේමී පුරවැසියන් ලෙස ස්ථාවර සාමකාමී හා ප්‍රගතිශීලී ජාතියක් ද, සියලු පුද්ගලයන්ගේ අභිමානය රැකෙන, විවිධත්වය ගරු කෙරෙන, සියලු පුද්ගලයන්ට සමාන පුරවැසියන්ට හිමි අයිතීන් නිදහසේ භුක්ති විඳීන්නට හැකි සමාජයක් ද, ගොඩනැගීමට ඔබට හැකි උපරිම ආකාරයෙන් ඔබගේ දායකත්වය සපයන මෙන් අප රටේ බාල, මහළු සියලු පුරවැසියන්ගෙන් අපි ඉල්ලා සිටිමු.


    එකිනෙකා කෙරෙහි වූ වෛරය තුරන්කිරීම සඳහාත්, අප සියලු දෙනා වර්තමානයේ හෝ අනාගතයේ දී නැවත වරක් අතීතයේදී මෙන් ගැටුම්කාරී වතාවරණයකට රැගෙනයාමට ඉඩ නොදෙන බවට අධිෂ්ඨාන කරනු පිණිසත් අප සියලු දෙනා එක්සත්ව නැගී සිටිය යුතුය.

    PB/DV

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya