මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවට පත් නිවාස වැඩපිළිවෙළට රු.බි. 5ක්

    ජූනි 14, 2017

    පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වයෙන් නිවාස අහිමිවූවන්ට නව නිවාස ඉදිකරදීමේ වැඩසටහන කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    එමෙන්ම එම නිවාස ඉදිකරදීමේ වැඩපිළිවෙළ සඳහා ජනාධිපතිතුමා යටතේ පවතින ආයතනයක් වන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් රුපියල් බිලියන 05 ක මුදලක් ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    ආපදා තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම නිවාස අහිමිවූවන්ට කුලී පදනම මත නිවාස ලබා ගැනීම සඳහා මසකට රුපියල් 7500 ක් බැගින් මාස 03 ක කාලයක් සඳහා මුදල් ලබාදීමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන අතර එම කටයුතු කඩිනම් කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබාදුන්නේ ඊයේ  (13) ජනාධිපති කාර්යාලයේ පැවති පශ්චාත් ආපදා ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

    රත්නපුර, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, ගම්පහ, කොළඹ ඇතුළු ආපදාවට ලක්වූ දිස්ත්‍රික්කවල දිසාපතිවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මකවන සහන වැඩපිළිවෙළ පිළිබඳ ඔවුහු දීර්ඝ වශයෙන් අදහස් ඉදිරිපත් කළහ.

    විනාශයට පත් සම්පත් සහ ආයතන පිළිබඳ තක්සේරු ලබා ගැනීම මෙන්ම නැවත පදිංචිය සඳහා ඉඩම් හඳුනාගැනීම සහ ඉඩම් පවරාගැනීමේ කටයුතු මේ වන විට රජය මගින් සිදු කරමින් සිටින අතර එම කටයුතු කඩිනම් කිරීමට ද උපදෙස් දුන් ජනාධිපතිතුමා තක්සේරු නිළධාරින්ගේ අඩු පාඩු පවතින්නේ නම් රේඛිය අමාත්‍යාංශ සහ පළාත් අමාත්‍යාංශ හරහා ඔවුන් ලබා ගැනීමේ හැකියාව පවතින බවත් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසත් නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    විනාශ වූ පාසල් පද්ධතිය ප‍්‍රතිසංස්කරණය සහ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදි නිලධාරින්ගෙන් කරුණු විමසු ජනාධිපතිතුමා විනාශයට ප‍්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාවලියේදී පාසල්, රෝහල් සහ නිවාස ඉදිකිරීම වෙනුවෙන් ප‍්‍රමුඛතාවය ලබාදෙන ලෙස ද උපදෙස් දුන්නේය.

    ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීමට ලැබුණු විදේශ ආධාර බෙදාදීම විධිමත් ක‍්‍රමවේදයකට අනුව විනිවිදභාවයකින් යුතුව සිදු විය යුතු බවට ද මෙහිදී නිලධාරින්ට දැනුම් දුන් ජනාධිපතිතුමා ඒවා බෙදාදුන් ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් විය යුතු බවත් ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් ආපදා කළමණාකරන අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යාමේ වැදගත්කමත් පෙන්වා දුන්නේය.

    එමෙන්ම සහනාධාර වශයෙන් ලැබුණු දෛනිකව භාවිතා කළ හැකි ද්‍රව්‍ය ගබඩාවල රඳවා නොගෙන ජනතාව වෙත නිකුත් කරන ලෙසද ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    වගා හානි සඳහා වන්දි ගෙවීම, ආපදාවට ලක්වූ කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා වන්දි ගෙවීම, විදුලිබලය, පානීය ජලය, මහා මාර්ග ඇතුළු හානියට පත්වූ යටිතල පහසුකම් පුනරුත්ථාපනය, කසළ කළමනාකරණය හා පිරිසිදු කිරීම, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම මෙන්ම ප‍්‍රාදේශීය මට්ටමින් ආපදා කළමනාකරණ සැලැස්මක් සැකසීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන අනුර පි‍්‍රයදර්ශන යාපා, වජිර අබේවර්ධන, සුසිල් පේ‍්‍රමජයන්ත, මංගල සමරවීර, රවී කරුණානායක, රාජිත සේනාරත්න, සජිත් ප්‍රේමදාස, සාගල රත්නායක, ගයන්ත කරුණාතිලක, දයා ගමගේ, තලතා අතුකෝරල, චන්දිම වීරක්කොඩි ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ජනාධිපති ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරින් ද, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya