අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මර්දනයට තීරණ රැසක් Featured

    අප්‍රේල් 22, 2017

    දිස්ත්‍රික්ක 12 ක් පුරා ඩෙංගු අවධානම වැඩි වී ඇති බැවින් ඩෙංගු මදුරු මර්දනය සඳහා කඩිනමි වැඩසටහන් දියත් කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කටයුතු යොදා ඇත.

    2017 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 33,151 ක් වාර්තා වී ඇත. සිදුව ඇති මරණ සංඛ්‍යාව 61 කි.

    ඩෙංගු රෝගය මර්දනය කිරිම පිළිබඳ වැඩසටහන් දියත් කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

    කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, යාපනය, කුරුණෑගල, පුත්තලම, ත්‍රීකුණාමලය, මඩකළපුව, රත්නපුර, කෑගල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත.

    එම දිස්ත්‍රික්කවලට ප්‍රමුඛ ස්ථානය ලබාදෙමින් දිවයින පුරා ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් දියත් කිරිමට මෙහිදී තීරණය කෙරිණි.

    විශේෂයෙන්ම ලබන 26 ට ප්‍රථම පාසල් පද්ධතිය පිරිසිදු කිරීමට තීරණය කෙරුනි. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ද සහයෝගය ලැබෙන අතර, පාසල් පද්ධතිය පිරිසිදු කිරීමෙන් පසු එය පොලීසිය හා සෞඛ්‍ය නිලධාරින් විසින් පරීක්ෂා කර වාර්තාවක් ලබාදීමට නියමිතය. ඩෙංගු මදුරු කීටයින් හමු වුවහොත් මාසයක කාලයක් ඇතුළත පාසල් පද්ධතිය පිරිසිදු කර ගත යුතු අතර, ඉන් පසු මදුරුවන් හමුවුවහොත් විදුහල්පතිවරයාට එරෙහිව නඩු පවරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී ප්‍රකාශ කළේය. පාසල්වල ඩෙංගු මර්දන කමිටු සක්‍රීය කිරීමටත්, ඩෙංගු මදුරු මර්දනය පිළිබඳ වාර්තාවක් පාසල් සංවර්ධන කමිටුවට මාසිකව ලබාදිය යුතු බවට වූ නියෝග පනවා චක්‍රලේඛයක් නිකුත් කිරිමට ද තීරණය කෙරුනි. සියලුම රාජ්‍ය ආයතන පරික්ෂා කරන අතර, ඩෙංගු මදුරු කීටයින් හමුවුවහොත් ආයතන ප්‍රධානියාට එරෙහිව නඩු පැවැරිමට ද මෙහිදී තීරණය විය. ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා චක්‍රලේඛයක් නිකුත් කිරිමට නියමිතය. දිවයින පුරා පිහිටි සියලු ඉදිකිරීම් කළාප පරීක්ෂාවට ලක් කරන අතර, එහි දී ඩෙංගු මදුරු කීටයින් හමුවුවහොත් අදාල බලපත්‍රය මාසයක් අවලංගු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ධීවරවරාය හා නැංගුරම් තොටුපලවල එකතුවන කුණූ කසල පළාත් පාලන අයතන විසින් ඉවත් කිරීමට ද තීරණය විය. දැනට අතහැර දමා ඇති සියලුම බෝට්ටු පෞද්ගලික සමාගමකට ලබා දී විනාශ කිරිමට ද තීරණය කෙරුනි.

    පරිසර පොලිස් ඒකකය ශක්තිමත් කිරිමට ද මෙහිදී තීරණය විය. ඒ සදහා අවශ්‍ය නිලධාරීන් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගෙන් ඉල්ලා සිටියේය. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඩෙංගු තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ද නියමිතය. එය අමාත්‍යාංශයේ ආපදා කළමණාකරණ ඒකකයේ ස්ථාපිත කරන අතර, ඩෙංගු රෝගීන් පිළිබද තොරතුරු ලැබුනු පසු ප්‍රතිකාර කිරීම සහ අවට ධූමායන කටයුතු විධිමත් කිරීමට ද මෙහිදී තීරණය විය. ඩෙංගු රෝගීන් සදහා රෝහල්වල වෙනම වාට්ටු සංකීර්ණ හා තාවකාලික වාට්ටු ඉදිකිරීමට ද තීරණය කෙරුනි. සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ඩෙංගු මදුරු කීටයින්ගෙන් සියයට 80 ක් නිවාස තුල බෝවන බවත්, එම නිසා නිවාස පිරිසිදුව හා පවිත්‍රව තබාගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වී ඇති බවත්ය.  

    මෙම සාකච්ඡාවට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් රුක්මණී ගුණතිලක මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya