අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඩිනමින් නිවාස - අවශ්‍ය සියලු සහන සැළසීමට පියවර Featured

    අප්‍රේල් 19, 2017

    මීතොටමුල්ල කසල බැහැර කිරීමේ මධ්‍යස්ථානයේ සිදු වූ ව්‍යසනය සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද දින පැවැත්විණි.

    ඒ අනුව සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස අනූඅටක (98) පදිංචිකරුවන් වෙනුවෙන් ඉතා කඩිනමින් නිවාස ලබාදීමට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අදාල නිලධාරීන්ට උපදෙස් දුන්හ.


    නැවත පදිංචිකරන පවුලක් වෙනුවෙන් ලබාදෙන නිවාසයට අමතරව, නිවසට අවශ්‍ය කරන ගෘහ උපකරණ ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් ලබාදීමට ද තීරණය කැරිණි.

    මීට අමතරව විද්‍යාත්මකව සිදු කරනු ලැබූ පර්යේෂණ අනුව හඳුනාගෙන ඇති අධි අවදානම් සහ අවදානම් කලාපවලින් ඉවත් කිරීමට යෝජිත පවුල් වෙනුවෙන් ජූලි මස මුල් සතිය ඇතුළු නිවාස ලබාදීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරනු ඇත.

     

    නාය යෑමෙන් සිදු වූ හානි තක්සේරු කිරීම මේ සතිය තුළ අවසන් කර  තක්සේරු වාර්තාවක් ලබාදෙන ලෙස තක්සේරු දෙපාර්තමේන්තුව ඇතුඵ අදාල ආයතන වෙත උපදෙස් දෙන ලදී. එම වාර්තාව ලබාදීමෙන් අනතුරුව සියඵම වන්දි වෙනුවෙන් ගෙවිය යුතු මුදල් කඩිනමින් ලබා දීමට තීරණය කරන ලදී. අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් වහාම නිදහස් කරන ලෙස අගමැතිතුමා උපදෙස් දුන්නේ ය.

     

    සුභසාධන කටයුතු සඳහා දැනටමත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ එකඟත්වය පළකර ඇති බැවින්,  එම සහාය ද ලබාගන්නා ලෙස මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙන ලදී. කසල කන්ද ඉවත් කිරීමේ කටයුතු විධිමත් තාක්ෂණික අධ්‍යයනයක් තුළින් කඩිනම් වැඩ පිළිවෙලකට අනුගත කරන ලෙසත්,  ආයතන අතර ඇති විවිධ මතභේද ඉවතලා, නැවත මෙවන් විපත් සිදු නොවෙන්නට විධිමත් වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසත්, මෙහෙයුම් කටයුතු ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ මැදිහත් වීම මත, සිදුකරන ලෙසත් ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස්දුන්නේ ය.

    මෙම සිද්ධියට දින හතරකට ප‍්‍රථම දහම්පුර ග‍්‍රාම නිලධාරී විසින් අනතුරුදායක තත්ත්වය පිළිබඳව කොළොන්නාව ප‍්‍රාදේශීය ලේකම්තුමා වෙත වාර්තා කර තිබුණි. ප‍්‍රාදේශීය ලේකම්තුමා විසින් කොළඹ දිස්ත‍්‍රික් ලේකම්තුමාගේ උපදෙස් අනුව අදාල නිවැසියන් වෙත දැනුම් දීමක් කර ඇත. බොහෝ පිරිස් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කළ බව ද මෙහිදී අනාවරණය විය.

    මීතොටමුල්ල ඛේදවාචකය සම්බන්ධව එකිනෙකාට චෝදනා කිරීම පසෙකලා,රජයක් හැටියට මෙහි සම්පූර්ණ වගකීම භාරගෙන අවශ්‍ය සහන සැලසීමට කටයුතු කරන බවත් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළහ.

    එසේම මීතොටමුල්ල ඛේදවාචකය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීම සහ මේ සම්බන්ධව රජයේ ප‍්‍රතිපත්තිමය තීරණ මාධ්‍ය වෙත නිකුත් කිරීම ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පමණක් සිදු කළ යුතු බව ගරු ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ උපදෙස් මත තවදුරටත් තීරණය විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya