අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාම්ප්‍රදායික සංස්කෘතික උරුමය අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරගැනීම අප සතු වගකීමයි Featured

    අප්‍රේල් 14, 2017

    සාම්ප්‍රදායික සංස්කෘතික උරුමය අප දූ දරුවන් වෙත හඳුන්වා දෙමින්, අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරගැනීමද අප සතු වගකීමක් බව උදා වූ අලුත් අවුරුද්ද වෙනුවෙන්  සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    කෘෂි ජීවන රටාවක් සහිත වූ සෑම සංස්කෘතියකටම පොදු වන අස්වනු මංගල්‍යය, එසේත් නැතිනම් විශ්වයේ පැවැත්මට ප්‍රබල සාධකයක් වන හිරුට කෘතවේදීත්වය පුද කරමින් පවත්වන සූර්ය මංගල්‍යය ශ්‍රී ලාංකික අප ද බක් මාසයේ මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබන මහා සංස්කෘතික මංගල්‍යයකි.

    සිංහල, දමිළ සැම එක්ව වාර්ගික, ආගමික, පක්ෂ පාට භේද පසෙක ලා එක්සත්ව, මහත් ප්‍රීතිමත් සිතින් සමරනු ලබන මෙවන් ජාතික උත්සව අවස්ථාවක් තවත් නොවන තරම් ය. එම සතුට, සාමය, සංහිදියාව, එකමුතු බව සැමවිටම අප සිත්සතන් තුළ පවත්වා ගැනීමෙන් සමස්ත සමාජය සාමකාමී යහපත් සමාජයක් බවට පරිවර්තනය වනු ඇත.

    මෙම සිංහල දමිළ නව අවුරුදු උළෙල සමඟ බැඳී ඇති සාම්ප්‍රදායික සිරිත් විරිත් නූතන ලොව හමුවේ වුවද ප්‍රතික්ෂේප කළ නොහැකි තරම් පරිසර හිතවාදී බවින්, මානව හිතවාදී බවින් පිරිපුන්ය. එබැවින්ම මෙම සාම්ප්‍රදායික සංස්කෘතික උරුමය අප දූ දරුවන් වෙත හඳුන්වා දෙමින්, අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරගැනීමද අප සතු වගකීමකි.

    සියලූ භේද දුරලා යහපත් සමාජයක්, සංවර්ධිත දේශයක් ගොඩනැංවීම වෙනුවෙන් නව අධිෂ්ඨානයන් සමඟ කැපවන සාමකාමී, සමෘද්ධිමත් සුබ නව වසරක් වේවා!

     

    රනිල් වික්‍රමසිංහ

    අග්‍රාමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya