අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලාපීය සාමය සහ ආරක්‍ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව වගකීම් සහිතව කැපවෙනවා- අගමැති Featured

    අප්‍රේල් 12, 2017

    දකුණු ආසියානු හා බෙංගාල බොක්ක කලාපීය රටවල ජනගහනය ඉදිරි වසර 20 ක කාලය ඇතුළත මිලියන 250 දක්වා ඉහළ නැංවෙන බැවින්, ඒ ජනගහන පදනම ඉලක්ක කර ගනිමින්, සිය අනාගත ආයෝජන හා නිෂ්පාදන සැලසුම් සැකසීම ජපාන රජය පමණක් නොව, ජපාන පුද්ගලික ව්‍යවසායකයන් මත පැවරෙන වගකීමක් බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල්
    වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජපාන විදේශ වෙළඳ සංවිධානයේ මූලිකත්වයෙන් ජපාන වෙළඳ සහ කර්මාන්ත මණ්ඩලය, ජපාන – ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගීතා කමිටුව, ජපානයේ නව බලශක්ති හා කර්මාන්ත තාක්‍ෂණ සංවර්ධන සංවිධානය එක්ව පැවැත්වූ මෙම සමුළුවට ජපානයේ ප්‍රධාන පෙළේ ව්‍යවසායකයින් තුන්සියයකට ආසන්න පිරිසක් සහභාගී වූහ.

     

    “ගෝලීය පරිසරය පිළිබඳ ශ්‍රී ලංකාවේ කියැවීම හා ජපානයේ වැදගත්කම” (Sri Lankan understanding of Global situation and importance of Japan) මැයෙන් මුඛ්‍ය දේශනය පවත්වමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අනාගතයේ ලෝකයේ වැදගත්ම කලාපය බවට ඉන්දු ශාන්තිකර සාගර කලාපය පත්වන බවය.

     

    ජපානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ෂුන්සුකෙ තකෙයි (Hon Shunsuke Takei) මහතා ඉතා නිවැරදිව සදහන් කළ පරිදි “ලෝක වෙළදාමේ පදනම වනුයේ ඉන්දු - ශාන්තිකර සාගර කලාපය” බව අවධාරණය කළ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා, මේ කලාපයේ නිදහස් සාගර ගමනාගමනය තහවුරු කරලීම සහ සාමය ආරක්‍ෂා කිරීම සඳහා ඒ ආශ්‍රිත සියළු රටවල් ක්‍රියා කළ
    යුතු බව පෙන්වා දුන්නේය.

     

    කලාපීය සාමය සහ ආරක්‍ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව වගකීම් සහිතව කැප වන බව පැවසූ වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ කිසිදු වරායක්, කිසිදු අවස්ථාවක විදේශීය රටවල හමුදා කාර්යයන් සඳහා භාවිතා කිරීමට ඉඩ නොදෙන බවත්, ශ්‍රී ලංකාවේ වරායයන්හි ආරක්‍ෂිත වගකීම් පැවරෙනුයේ ශ්‍රී ලංකා නාවික හමුදාවට පමණක් බවත් ප්‍රකාශ කළේය.

     

    ජපාන ආයෝජකයින් සදහා ශ්‍රී ලංකාවේ සැකසී ඇති පරිසරය පිළිබඳව අදහස් දක්වමින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසූයේ ආයෝජකයන් හා ව්‍යවසායකයින් වෙනුවෙන් මිත්‍රශීලී වටපිටාවක් දැන් ශ්‍රී ලංකාව තුළ සකස් කරමින් පවතින බවය. එක් ආයතනයක් හරහා සියළු කාර්යයන් ඉටු කර ගැනීමට
    හැකි වන අයුරින් නීති රීති සම්මත කර ගැනීමට ද ශ්‍රී ලංකාව ක්‍රියා කරන බව සමරවික්‍රම මහතා පැවසීය.

     

    විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ව්‍යාපාරික සමුළුව අමතමින් ජපාන ව්‍යවසායකයින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ යුත්තේ මන්ද? කවරාකාරයෙන්ද? කුමන කාලවකවානුවේද? කෙලෙසින්ද? යන්න පැහැදිලි කළේය. ජපාන විදේශ වෙළඳ සංවිධානයේ සභාපති හිරොයිකි ඉෂිගෙ (Mr. Hiroyuki Ishige), ජපාන – ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගීතා කමිටුවේ සභාපති ෆුමිහිකො කොබයෂි (Mr. Fumihiko Kobayashi), ජපාන වෙළඳ ප්‍රතිපත්ති බියුරෝවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් යසුහිකො යොෂිදා (Mr. Yasuhiko Yoshida), ජපාන විදේශ වෙළඳ සංවිධානයේ කොළඹ නියෝජිත කසුහිකො ඔබාමා (Mr. Kazuhiko Obama), ජපානයේ නව බලශක්ති හා කර්මාන්ත තාක්‍ෂණ සංවර්ධන සංවිධානයේ ජාත්‍යන්තර සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් කත්සුහිසා ෂිමකුරා (Mr.Katsuhisa Shimakura) යන මහත්වරුන් ද සමුළුව ඇමතූහ. සමුළුව අවසානයේ ප්‍රශ්නෝත්තර වාරයක් ද පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya