මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යාපෘති 1,500 සිට 3,000 දක්වා වැඩි කරනවා - අගමැති Featured

    අප්‍රේල් 02, 2017

    ගමට කෝටියක් වැඩසටහන යටතේ ලබාදෙන මුදල මීළඟ වතාවේ සිට 75,000/= සිට 150,000/= දක්වා වැඩි කරමින් ඒ යටතේ ආරම්භ කර ඇති ව්‍යාපෘති 1,500 සිට 3,000 දක්වා වැඩිකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.


    ත්‍රිකුණාමලය, මැක්හෙයිෂර් ක්‍රීඩාංගනයේ ඊයේ (01) දින යොවුන් පුරය 2017 නිරීක්‍ෂණය කිරීම හා සමාප්ති උළෙලට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

    එම සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.

    "මෙවර අප යොවුන් පුරය පවත්වන්නේ ත්‍රීකුණාමලය ප්‍රදේශයේදීයි. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මෙම යොවුන් පුරය පැවැත්වීමට ආරාධනා කරමින් ඊට අවශ්‍ය ආධාර උපකාර කළ විපක්‍ෂ නායකතුමන්ට, ත්‍රීකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රීතුමන්ලාට, ආණ්ඩුකාරතුමාට, මහඇමැතිතුමාට, පළාත් සභා නියෝජිතයින්ට, දිසා ලේකම්තුමා ඇතුළු නිලධාරීන්ට, විශේෂයෙන්ම සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළු සියලූ දෙනාට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා.
     
    යොවුන් පුරය යනු අපේ යොවුන් සමාජ සහ යොවුන් සංවිධාන නියෝජිතයින් රැස්වී විවිධ වැඩසටහන්, විනෝදාත්මක වැඩසටහන් ආදියට සම්බන්ධ වී සිය නායකත්වයේ ගුණාංග ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවයි.

    ගමට කෝටියක් වැඩසටහන යටතේ අපි මේ වන විට කෝටි 12 ක් ලබා දුන්නා. නමුත් ගමේ තරුණ නායකත්වය ඒ කෝටි 12 රැගෙන කෝටි 50 ක් වටිනා ව්‍යාපෘති දියත් කළා. එවැනි විශිෂ්ට කාර්යයන් ඉටු කිරීම පිළිබඳව තරුණ නායක්තවයට මම ස්තූතිවන්ත වනවා. ඒ වාගේම යොවුන් පාර්ලිමේන්තුවේ විමධ්‍යගත අරමුදල සඳහා කෝටි 25 ක් ලබා දී තිබෙනවා.
     
    ගමට කෝටියක් වැඩසටහන යටතේ ලබාදෙන මුදල මීළඟ වතාවේ සිට 75,000/= සිට 150,000/= දක්වා වැඩි කරමින් ඒ යටතේ අරඹා ඇති ව්‍යාපෘති 1500 සිට 3000 දක්වා වැඩිකරන බව මම ප්‍රකාශ කරනවා.

    ස්වශක්ති වැඩසටහන යටතේ තරුණ තරුණියන් රැසකට ස්වයං රැකියා ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වනවා.
    එසේ නම් යොවුන් සමාජවලට එකතුවී තම ප්‍රදේශවලට නායකත්වය දෙමින් කටයුතු කරන ලෙස මම ඔබට පවසා සිටිනවා. එවිට අපි ඔබට අය-වැය හරහා විමධ්‍යගත මුදල් ලබා දෙමින් තම ප්‍රදේශයට විශාල වැඩකොටසක් සිදු කළ හැකි ආකාරයට ඔබට ශක්තිමත් කරනවා. තරුණ ඔබ අපේ අනාගතයයි. තරුණ ඔබ අපේ විශ්වාසයි.
     
    යොවුන් පුරයේ නියෝජිතයින් උතුරු-නැගෙනහිරදී හමුවන පළමු අවස්ථාව මෙයයි. විපක්‍ෂ නායකතුමාගේ කොට්ඨාශයේ දී අපි රැස්වන්නේත් පළමු වතාවටයි. එතුමා අපට ආරාධනා කළා, සහයෝගය ලබා දුන්නා. එයින් පෙන්වන්නේ අද මේ රටේ ඇතිවී ඇති සංහිඳියාවයි.

    මම මේ වේදිකාවට පැමිණීමට පෙර, රවීන්ද්‍රනාත් තාගෝර් ගේ කාව්‍යයක් පදනම් කර ගනිමින්, මහගමසේකරයන් රචනා කළ ‘මාගේ දේශය අවදි කරනු මැන’  ගීතය සිංහලයෙන් මෙන්ම දෙමළින් ද ගායනා කිරීම ගැන මම තරුණ සේවා සභාවට ස්තුතිවන්ත වනවා. වැදගත් වන්නේ එයයි. සාමය, සංහිදියාව ඇති කරමින් මේ රට ස්වර්ග රාජ්‍යයකට ගෙන යාමටයි අවශ්‍ය වන්නේ.

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ මම අපේ තරුණ අවධියේදී දුටුවේ යුද්ධය පමණයි. දැන් අපේ තරුණ අවධිය අවසානයි. නමුත් අපට අවශ්‍යව ඇත්තේ ඔබේ තරුණ අවධිය තුළ මේ රටේ සාමය සංහිඳියාව සංවර්ධනය ඇති කිරීමටයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ පක්‍ෂ දෙක එකට එකතු කරමින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළේ ඒ නිසයි.
    එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සැමදාම බලයට තරග කළ පක්‍ෂ. එසේ නම් අප එකට එක් වූයේ ඇයි? අපේ අනාගතය සාර්ථක කර ගැනීමට නොවෙයි. අපේ තරුණ අවධිය අවසන්. අපට අවශ්‍ය වන්නේ ඔබේ අනාගතය සාර්ථක කර දීමටයි.
    සම්බන්ධන් මන්ත්‍රීතුමාත්, මමත් අපේ තරුණ අවධියේදී පාර්ලිමේන්තුවට තේරී පත්වී පැමිණිවිට "අපේ රට දියුණු වෙවියැයි" අප තුළ විශාල විශ්වාසයක් තිබුණා. ඒවාගේම මේ කාලයෙන් හර්ෂණ රාජකරුණා, මහරුෆ් වැනි නවක මන්ත්‍රීවරුන් දැන් පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටිනවා.  අපට අවශ්‍යය ඔවුන් සමග මේ රටේ සංවර්ධනය ආරම්භ කරමින්  රට ඉදිරියට ගෙන යාමටයි.

    මෙහි එක්සත් ජාතික පාක්‍ෂිකයින් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයිනුත් සිටිනවා. එක්සත් ජාතික පක්‍ෂයේත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේත් මහ ඇමැතිවරුන් මෙහි සිටිනවා. මුස්ලිම් කොංග්‍රසයත්, ද්‍රවිඩ සන්ධානයේ සමාජිකයින් ද මෙහි සිටිනවා. ඒ මේ රටේ සංහිදියාව සහ සමගිය ඇති කිරීමටයි. අවු. 30 ක් 40 ක් යුද්ධයෙන් බෙදුණු ඔබ දැන් ශ්‍රී ලාංකිකයින් ලෙස එකට එකතු වී සිටිනවා.
    යුද්ධයේදී අපට අහිමි වූයේ තරුණ ජීවිත. ආරක්‍ෂක අංශවල සාමාජිකයින් වී රට වෙනුවෙන් මියගියෙත් තරුණ, තරුණියන්. ත්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයින් වී මිය ගියේත් තරුණ, තරුණියන්. මේ අහිමි වී ගිය තරුණ බලය රටේ සංවර්ධනයට එකතු කර ගන්නට පුළුවන් වුණා නම් අද අපේ රටේත් මැලේසියාව වගේ දියුණුවක් ඇති වෙනවා. අවාසනාවකට එය එසේ සිදු වුණේ නැහැ.

    දැන් අපිට ඒ ගමන ඉදිරියට යා යුතුයි. අපි සියල්ලන්ටම එක්වී සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීමට දැන් හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා.

    එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය සහ ඕනෑම පක්‍ෂයක් වුවත් අපේ ප්‍රධාන යුතුකම විය යුත්තේ සංවර්ධනය ඇති කරමින් රටට හොඳ අනාගතයක් ලබාදීමයි. එම දියුණුව ඇති කිරීමටයි අප බලාපොරොත්තු වන්නේ.

    මම දේශපාලනයට පැමිණිලා 1977 දී පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබලා ඇමතිවරයෙක්, නියෝජ්‍ය ඇමැතිවරයෙක් ලෙස ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා යටතේ වැඩ කළා. ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ වැඩ කළා. අපේ රජය මහවැලිය ආරම්භ කරමින් මේ රටේ විශාල සංවර්ධනයක් ඇති කළා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මේ රටේ අගනුවර බවට පත් කළා. වෙළඳ කලාප, ගම් උදාව ආරම්භ කළා. නොමිලේ පොත් පත් ලබාදුන්නා. ගම්මානවලට ඇඟළුම් කර්මාන්තශාලා ගෙන ගියා. එවැනි යුගයක් නැවතත් අපිට ආරම්භ කළ හැකියැයි මම කල්පනා කළා.

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ ඊටත් වඩා විශාල දියුණුවක් ඇති කරමින් ඔබට අවශ්‍ය අනාගතය නිර්මාණය කරන බව මෙම යොවුන් පුරයේ තරුණ තරුණියන්ට මම මේ අවස්ථාවේදී පවසනවා.

    අපේ රාජ්‍ය ඇමැතිතුමා පැවසූ ආකාරයට රුහුණු සංවර්ධනය හරහා විශාල ලෙස රැකියා අවස්ථා නිර්මාණය වනවා. වෙළඳ කලාප, සංචාරක ව්‍යාපාර ආදිය වයඹට ලබා දෙනවා. මහනුවර සිට හම්බන්තොට දක්වා සංවර්ධනයේ මූලික වැඩකටයුතු ආරම්භ කරනවා. එතැනින් නතර නොවී අපි මේ වන විට ත්‍රීකුණාමලය ප්‍රදේශයේ දියුණුවට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටිනවා. මහඇමැතිතුමා ඒ පිළිබඳව හොදින් දැනුවත්. ජනාධිපතිතුමා පිබිඳුණු පොළොන්නරුව වැඩසටහන ආරම්භ කර තිබෙනවා. එය රජරටට පමණක් සීමා නොවී මඩකලපුව දක්වාත් රැගෙන යාමට නියමිතයි. යුද්ධය නිසා සම්පූර්ණයෙන් විනාශ වූ උතුර දියුණු කිරීමට අප සැලසුම් සකස් කරමින් සිටිනවා. නුවරඑළිය සහ බදුල්ල සංචාරක ව්‍යාපාරය හරහා දියුණු කිරීමට බලාපොරොත්තු වනවා.

    අපි මෙවැනි ශීඝ්‍ර සංවර්ධනයක් ආරම්භ කර තිබෙන්නේ රටේ සියලූ පක්‍ෂ එකතුවීම සහ ජාත්‍යන්තර සහයෝගය අපට ලැබී තිබෙන නිසයි. ඇමරිකාව, යුරෝපය, චීනය, ජපානය, ඉන්දියාව, රුසියාව, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව ආදී මේ සියලූ රටවල් තුළින් අපට විශාල සහයෝගයක් ලැබෙනවා.

    එසේ නම් ඔබේ අනාගතය ගොඩනැගීමේ ගමන අප ඉදිරියට රැගෙන යනවා. මේ ආණ්ඩුව බිහි වුණේ ඔබේ අනාගතය දියුණු කිරීමටයි. ඔබේ අනාගතය දියුණු කරමින් සාමය, සමගිය, සංහිදියාව ඇති කරමින් ඉදිරියට යාමට අප සියලු දෙනා එක්වී කටයුතු කළ යුතු යැයි මා යෝජනා කරනවා. එවිට වර්තමානයේ පවතිනවාට වඩා හොඳ ශ්‍රී ලංකාවක නායකත්වය භාරගෙන රට ඉදිරියට ගෙන යාමට ඔබට හැකි වේවි.
    ඒ අනුව අපට ශ්‍රී ලංකාව තුළ ස්වර්ග රාජ්‍යයක් ගොඩනැගිය හැකි බව පවසමින් මම ඔබට සුභ ප්‍රාර්ථනා කරනවා."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya