අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කිරීමට තමා සූදානම් නොමැති බව ජනපති පවසයි Featured

    මාර්තු 30, 2017

    පසුගිය යුධ සමයේ සිදුවූවායැයි පැවසෙන මානව හිමිකම් කඩවීම් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් රජයට සහ ආරක්ෂක හමුදාවන්ට එල්ල වී ඇති චෝදනා සහ යෝජනාවලදී මේ රටේ කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමේ සහ විරුසර වරප‍්‍රසාද කාඩ්පත් රණවිරුවන් වෙත ප‍්‍රදානය කිරීමේ උත්සවයට   (29) පෙරවරුවේ එක්වෙමිනි.

     

    මාතෘ භූමිය වෙනුවෙන් සටන් වැදුණු විරෝධාර රණවිරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීම සහ යුතුකම බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා රටේ ජනාධිපතිවරයා ලෙස මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස වීරෝධාර රණවිරුවන් පිළිබඳ තමා සෑම අවස්ථාවකම වගකීමෙන් කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.

    මීට පෙර කිසිදා නොවූ විරූ ජාත්‍යන්තර විශ්වාසයක් සහ සහයෝගයක් මෙම යුගයේ දී ශී‍්‍ර ලංකා මාතෘ භූමියට හිමිව තිබෙන අතර එයින් ගන්නා වූ ප‍්‍රයෝජනය කුමක්දැයි ඇතැමුන් ප‍්‍රශ්න කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා කියා සිටියේ මෙම ජාත්‍යන්තර සහය සහ මිත‍්‍රශීලිත්වය තමා භාවිතා කරන්නේ රටේ, ජනතාවගේ මෙන්ම විරෝධාර රණවිරුවන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් බවයි.

    ශී‍්‍ර ලංකාවේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමට මෙන්ම රණවිරුවන් පිළිබඳ මතුවන ගැටලු සහගත තත්ත්වයන්වලදී තමන් ඝෘජුවම ශී‍්‍ර ලංකාව සමග සිටින බවට ලෝකයේ ප‍්‍රබලම රාජ්‍ය නායකයින් තමාට මේ වන විට පෞද්ගලිකවම සහතික වී තිබෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    යුද්ධය පැවති කාලයේ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කළ හමුදා නිලධාරින්, කාර්ය මණ්ඩල සහ රණවිරුවන් පිළිබඳ මතුවන ඕනෑම ගැටලුවක් වෙනුවෙන් තමා වගකියන බව සියලුදෙනා හමුවේ පැහැදිළිව ප‍්‍රකාශ කරන බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

    එසේම ජාතික ආරක්ෂාවට අදාළ නොවූ කරුණුවලදී එනම් මාධ්‍යවේදීන්, කී‍්‍රඩකයින් ඝාතනය කිරීම්, පහරදීම් වැනි සිදුවීම්වලට අදාළව සිදු කරන පරික්ෂණවලදී යමෙක් වැරදිකරුවෙක් වේ නම් ඔහු කුමන තරාතිරමකට අයත් වුවද එම පුද්ගලයින් ආරක්ෂා කිරීමට තමාට හැකියාවක් නොමැති බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    අද පෙරවරුවේ කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.

    සමරු ඵලකය නිරාවරණය කර අභිනව ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

    විද්‍යාලයේ 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දක්ෂතා දැක්වූ සිසුන්ට සම්මාන හා තිළිණ ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. කී‍්‍රඩා කුසලතා දැක්වූ සිසුන් වෙනුවෙන් ද තිළිණ ප‍්‍රදානය කෙරිණි.

    විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන්ට ශිෂ්‍යත්වය ලබා දීම, ඉංගී‍්‍රසි අධ්‍යාපනය සහ ස්වයං රැකියා පාඨමාලා සඳහා ශිෂ්‍යත්ව ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ද කි‍්‍රයාත්මක කෙරිණි.

    අමාත්‍යවරුන් වන අනුර පි‍්‍රයදර්ශන යාපා, එස්.බී. නාවින්න, දයාසිරි ජයසේකර, අකිල විරාජ් කාරියවසම්, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක යන මහත්ම මහත්මීන් ද, ති‍්‍රවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ද, කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පති ඩී.ඒ.රත්නායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමේ සහ විරුසර වරප‍්‍රසාද කාඞ්පත් රණවිරුවන් වෙත ප‍්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා කළ කතාව (2017-03-29)

     

    මේ අවස්ථාවට සහභාගී වීමට ලැබීම පිළිබඳව මා සතුටට පත්වනවා. අධ්‍යාපන අමාත්‍යතුමාගේ කතාවේදී එතුමා සඳහන් කළා, නව රජයේ අධ්‍යාපන ප‍්‍රතිපත්තියේ කරන්නට යන වෙනස්කම්, ප‍්‍රතිසංස්කරණ පිළිබඳව.

    රටක ජාතියේ අනාගතය සඳහා කරන දීර්ඝකාලීන ආයෝජනය වන්නේ අධ්‍යාපනයයි. ඒ දීර්ඝකාලීන ආයෝජනය ජාතියේ දරුවන් සඳහා ප‍්‍රදානය කරන්නේ රාජ්‍යයක අනාගත පැවැත්ම සඳහා විශිෂ්ට පුරවැසියන් පිරිසක් බිහිකිරීමටයි. මේ රටේ දරුවන් වාසනාවන්ත පිරිසක් වනවා. සමාජයේ ඇතිවන විවිධාකාර ගැටුම්වලදී ඒවාට මුහුණ දීමට අවශ්‍ය අත්දැකීම් අපි අධ්‍යාපනයෙන් ලබා ගන්නවා.පරිපූර්ණ මිනිසෙකු බිහිකිරීමේ කාර්යයයේ මුල් ආරම්භකයා වන්නේ මේ පාසැලයි.

    යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සේවා ආදී අපේ රටේ වැඩකරන සියලු අංශවල කාර්ය මණ්ඩලවලට තිබෙන වැදගත් ස්ථානය වන්නේ ඔවුන්ට තිබෙන විනය පිළිබඳ වැදගත් සහතිකයයි. හොඳ විනයක් ඇති ආරක්ෂක අංශ කියන සහතිකය අපේ ආරක්ෂක අංශවලට තිබෙනවා.

    රටේ සාමාන්‍ය ජනතාව සමග ඇති දැඩි මහජන සම්බන්ධතාවයේදී යම් යම් විවේචන තිබුණත් පොලීසිය ඉහළ කැපවීමක් කරනවා. යුද්ධය පැවති කාලයේදීත් පොලීසියට කටයුතු කිරීමට සිදුවුණේ හමුදාවක් ලෙසයි. ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් ත‍්‍රිවිධ හමුදාවට සේම තම යුතුකම් ජීවිත පරිත්‍යාගයෙන් ඉටුකරනු ලැබුවා.

    යුද්ධයක් ජයග‍්‍රහණය කළ රටක් විදියට රණවිරුවන් ශක්තිමත් කිරීම, ඔවුන්ගේ වරප‍්‍රසාද සහ අයිතිවාසිකම් ලබාදීම රජයක යුතුකම වෙනවා. එමෙන්ම රණවිරුවන් ආරක්ෂා කිරීමත් ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් කළ යුතු සියලු මෙහෙයන් සහ වගකීම් ඉටුකිරීමත් රජයක කාර්යභාරයක් වෙනවා.

    මෙහි සිටින දරුවන්ගේ දෙමව්පියන්ට තිබෙන විනය, හික්මීම, ගෞරවය, පිළිගැනීම සැම විටම දරුවන්ට හුරුපුරුදු කළ යුතු වෙනවා. එමගින් සමාජයට ආදර්ශමත් දරු පිරිසක් එකතුවනවා දැකීමට අපි කැමතියි. විද්‍යලයේ විදුහල්පතිතුමා පිළිබඳව අපට සතුටුවෙන්න පුළුවන්. එතුමා දැනට වසර හත අටක සිට මේ පාසැලේ කටයුතු කරනවා.

    පාසැලක දියුණු, විභාග ප‍්‍රථිපල පිළිබඳව, පාසැල් දරුවන්ගේ විනය සහ හික්මීම පිළිබඳව, දරුවන්ගේ පෞරුෂත්ව වර්ධනය, හැඩගැසීම් පිළිබඳව අවශ්‍ය මූලිකත්වය සහ නායකත්වයේ ප‍්‍රධාන නියමුවා වන්නේ විදුහල්පතිතුමයි. විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලය විශිෂ්ට මෙහෙයක් ඉටුකර තිබෙනවා. ඒ පිළිබඳව විදුහල්පතිතුමාටත් ආචාර්ය මණ්ඩලයටත් අපේ ස්තූතිය පිරිනමනවා.

    මේ රටේ ජනමාධ්‍ය තුළ, දේශපාලන ක්ෂේත‍්‍රය තුළ, විවිධ විචාරකයින්ගේ ද ජාත්‍යන්තර වශයෙන් ද අවධානය යොමුව තිබූ ප‍්‍රශ්නයක් වුණේ පසුගිය සති දෙක තුන තුළ රැස්වූ ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේ කටයුතු පිළිබඳව.

    පසුගිය සතියේ මානව හිමිකම් කොමසාරිස්තුමාගේ අලුත් වාර්තාවක් එළිදැක්වුණා. ඒ පිළිබඳව යම් යම් විවේචන රජයට විවිධ අංශවලින් එල්ලවුණා. මාධ්‍ය තුළින් මම දැක්කා, අපේ නාවික හමුදාවේ සිටි ප‍්‍රධාන නිලධාරී මහත්මයෙක් ජිනීවාවලට ගොස් ”විත්තියේ වාචකය” කියන ප‍්‍රකාශයක් භාර දුන්නා කියා අපි දන්නවා. මම නීතිඥයෙක් නම් නෙවෙයි. ”විත්තියේ වාචිකය” දෙන්න විත්තියේ ප‍්‍රකාශයක් කරන්න විත්තිකාරයෙක් බවට පත්වෙලා ඉන්න ඕන. විත්තිකාරයෙක් නොවී විත්තියේ වාචිකයක් දීම සුදුසු ගැලපෙන දෙයක් නොවේ.

    යුද සමයේ පැවැති තත්ත්වයන්වලදී මානව හිමිකම් කඩවීම් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් අපේ ආරක්ෂක හමුදාවට රජයට එල්ලවී ඇති යෝජනා සහ චෝදනාවලදී මම පැහැදිලිව කියන්නට ඕන රජයේ ප‍්‍රතිපත්තිය විදියට මගේ ප‍්‍රතිපත්තිය විදියට මේ රටේ කිසිම රණවිරුවෙක් විත්තිකාරයෙක් කරන්න මම ලැස්තිත් නැහැ විත්තිකාරයෙක් කරන්නෙත් නැහැ කියා. අපි ඒවාට කළබල විය යුතු නැහැ.

    සමහර අය මගෙන් මිත‍්‍රශීලි ලෙස, විවේචනශීලි ලෙස, දේශපාලන ප‍්‍රතිවාදීන් ලෙස අහනවා, දැනට අපි ලබා තිබෙන ජාත්‍යන්තර සහයෝගය ජාත්‍යන්තර විශ්වාසය සහ මීට පෙර කිසිම කලක නොදුටු නොතිබූ ලෝකයේ සෑම රාජ්‍යයකම නායකයෙක් සහ ජාත්‍යන්තර සංවිධානවලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අපිට තිබෙන සහයෝගයෙන් අපි ගන්නා වූ ප‍්‍රයෝජනය කුමක් ද කියා අහනවා. මම පැහැදිලිව කියන්නට ඕන ලෝකයේ ඉහළම ප‍්‍රබලම රාජ්‍ය නායකයින් මට පෞද්ගලිකව සහතික වී තිබෙනවා කුමනාකාරයේ ප‍්‍රශ්න මතුවූවත් මේ රටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ජනතාවගේ අයිතීන් වගේම රණවිරුවන් පිළිබඳව ඇති වන ප‍්‍රශ්නයක් පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙන්න ඉඩදෙන්නේ නැහැ. ඒ සියල්ලේදීම රජය සමග ඒ අය සිටිනවා.

    ජාත්‍යන්තර සහයෝගීතාවය සහ මිත‍්‍රශීලිභාවය සියල්ල මා භාවිතා කරන්නේ රටේ ජනතාවගේ මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නයේදී ත‍්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ වල සියලු දෙනාගේ ආරක්ෂාව සහ ගෞරවය ආරක්ෂා කරමින් ඔවුන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන්ය යන්න ඉතා පැහැදිලිව කියන්නට ඕන. යුද්ධය පැවැති කාලයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කළ කිසියම්ම හමුදා නිලධාරියෙක් කාර්ය මණ්ඩලයක් රණවිරුවෙක් පිළිබඳව ඇති වන ප‍්‍රශ්නවලදී මම නොබියව ලෝකයට ඇහෙන්න කියනවා, ඒ ප‍්‍රශ්නය අපි බලා ගන්නවා. ඒ ගැන කවුරුවත් කළබල විය යුතු නැහැ කියා. එල්.ටී.ටී.ඊ. තස්ත‍්‍රවාදීන් නොවන රටේ ජාතික ආරක්ෂාවට ප‍්‍රශ්නයක් නොවූ වෙනත් සිදුවීම් පිළිබඳව මාධ්‍යවේදින්, ක‍්‍රීඩකයින් ඇතුළු විවිධ ක්ෂේත‍්‍රවල අය සම්බන්ධයෙන් ඇති වී තිබෙන යම් යම් ඝාතන, මිනීමැරූම්, පහරදීම් එවැනි කාරණාවලට කාගේ හෝ සම්බන්ධයක් තිබෙනවා නම් සිදුකරන පරීක්ෂණ කටයුතුවලදී රටේ සාමාන්‍ය පුරවැසියන් ද රජයේ නිලධාරීන් ද පෞද්ගලික අංශයේ නිලධාරීන් ද ත‍්‍රිවිධ හමුදාවේ සේවය කරන අයද පොලිසියේ සේවය කරන අය ද කියා අපිට ඒ අයව රකින්න පුළුවන්කමක් නැහැ. යුද්ධය කළ රණවරුවන් ආරක්ෂා කරන එක අපේ වගකීමක් සහ යුතුකමක් වන බැවින් ඉතා ඉහළ ලෙස එය ඉෂ්ට කරනවා. හමුදාවල ගෞරවය ආරක්ෂා කරන්න, හමුදාවල කීර්ති නාමය ආරක්ෂා කරන්න, හමුදාව පිළිබඳව තිබෙන පිළිගැනීම ශක්තිමත් කරන්න අපි රජයක් විදියට යම් යම් කරුණු නිවැරදි කර ගැනීම අවශ්‍ය වෙනවා.

    අපේ රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා රජයේ ප‍්‍රතිපත්තියේ සිට අධ්‍යාපන ඇමතිතුමා සඳහන් කළ ආකාරයට අප විසින් ගතයුතු ගතහැකි සෑම පියවරක්ම ගනිමින් ඉතා විශිෂ්ට පරපුරක් ජනතාවක් බිහිකරන්න රජයේ වගකීම සහ යුතුකම ඉෂ්ට කරන බව ප‍්‍රකාශ කරන්න ඕන.

    වයඹ පළාත ලංකාවේ ආර්ථිකය සහ රටේ ජාතික ආර්ථිකයේ වැදගත් කේන්ද්‍රීය ස්ථානයක්. කෘෂිකර්මාන්තය කර්මාන්ත සහ වෙනත් ආදායම් මාර්ග එන අති බහුතරයක් ගොවි ජනතාව ජීවත් වන ප‍්‍රදේශයක් වගේම කුරුණෑගල දිස්ත‍්‍රික්කය වගේම වයඹ පළාතේ සංවර්ධනය පිළිබඳව තිබෙන ගමන් මග සමග මේ දිස්ත‍්‍රික්කය රටේ අනෙකුත් ප‍්‍රදේශවල සංවර්ධනය මෙන්ම ඉහළ ප‍්‍රමුඛත්වයක් දී තිබෙනවා.

    මැති ඇමතිවරු රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලුම මහත්ම මහත්මීන් මේ ප‍්‍රදේශයේ ජීවත් වන ජනතාවගේත් රටේ සංවර්ධනය සඳහාත් ඉහළම කැපවීමකින් ඔබ සියලුම දෙනාම කටයුතු කරනවා. එම කටයුතු සාර්ථක සිදුකර ගැනීම සඳහා ඔබ සියලු දෙනාට සුබ පතමින් ඔබෙන් සමුගන්නවා.
    ස්තූතියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya