වර්තමානය වන විට තොරතුරු ගලනය යන තේමාව සක්‍රීය තත්වයකට පත්ව ඇති අතර එය පනතක් දක්වා සංවර්ධිත වී තිබේ. මෙම තත්වය හමුවේ දැන් සිදු විය යුත්තේ මෙම තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව මාධ්‍ය සක්‍රීය තත්වයක ලා දැනුවත් කිරීමයි. තොරතුරු ලබා ගැනීම අයිතියක් වනවා සේම එය අනෙකාගේ පැවැත්මට හිතකරදායි තත්වයක පවත්වා ගැනීමට නම් ගොඩ නැගිය යුතු ශික්ෂණය සහ මේ සමග සංවර්ධනය විය යුත්තකි. ශත වර්ෂ කිහිපයක සිටම යුරෝපය තුළ මෙම තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් විවිධ වූ කැපකිරීම් සිදු කොට තිබේ. එය නෛතික තත්වයක් දක්වා සංවර්ධනය කරලීම 1945 වර්ෂයේ කෙටුම්පත් කරන ලද UNESCO ව්‍යවස්ථාවට තොරතුරු නිදහස පිළිබඳ සංකල්පය ලෙස අන්තරගත කෙරිණි. 1979 වර්ෂයේ බිහි වූ UNESCO ජනමාධ්‍ය ප්‍රඥප්තිය බිහිවීමට මෙමගින් ලැබුණු දායකත්වය ඉහළ අගයක පවතී. ඒ සමගම 1981 වර්ෂයේ දී බෙල්ග්‍රෙඩ් නුවර පවත්වනු ලැබූ UNESCO සමුළුවේහිදී ලෝකයේ තොරතුරු සන්නිවේදන ආශ්‍රිත නියමයන් එළිදැක්වීම සිදු විය. බොහෝ යූරෝපීය රටවල් මෙයට සමගාමීව ස්වකීය තොරතුරු දැනගැනීමේ අයිතිය ස්ථාපිත කළ අතර ඒ පිළිබඳව විවිධ මතවාද සහ සංශෝධනයන්ද ඉදිරිපත් කළහ.
රටක ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනයේ යහපැවැත්ම තහවුරු වීම සඳහා මෙම තොරතුරු නිදහස පැවතීම අවශ්‍ය වූ තත්වයක් බව අද වන විට ශ්‍රී ලංකා ජනරජය පිළිගෙන හමාරය. මෙරට 78 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තිය අනූව අදහස් පළ කිරීමේ හා භාෂණයේ නිදහසේ නව පරිච්ඡේදය මෙම තොරතුරු දැනගැනීමේ නිදහස කරලියට පැමිණිමයි.
“ප්‍රජාතන්ත්‍රීය යහපාලනය ඉදිරියට ගෙනයාමට ලේඛණයේ සහ භාෂණයේ නිදහස අත්‍යවශ්‍ය සාධක ද්විත්වයකි.“
-ඉරීනා බොකෝවා(Irina Bokowa)-
අධ්‍යක්ෂ ජනරාල්
යුනෙස්කෝ
තොරතුරු යනු වෙළද භාණ්ඩයක්නොවේ. සංවර්ධිත සමාජයක් තුළ හුදෙකලාව සිටීම සිදුකළ නොහැක්කකි. එසේ නම් මානව සංවර්ධනය ස්ථායිවීම සඳහා තොරතුරු වූ කලි සමාජානුයෝජනයේ ප්‍රමුඛ පාර්ශවයයි. එබැවින් මුදලාලිකරණය වූ මාධ්‍ය මෙවලමකට වඩා එහා ගිය අධ්‍යාපනික සහ දේශපාලනික අගයක් මෙම තොරතුරු සහ තොරතුරු දැනගැනීමේ අයිතිය තුළ පවතී. එය සමාජීය අවශ්‍යතාවයක් වනවා සේම රටේ යහ පැවැත්මට දක්වන දායකත්වය සුළුපටු නොවේ. එසේනම් සිදු විය යුත්තේ විකෘතියකින් තොර නිවැරදි සහ වඩාත් ඉහළ අගයකින් යුත් තොරතුරු සමාජගත වීමයි. මෙම කාර්යය භාරය තුළ මාධ්‍යකරුවා වෙත පවතින වගකීම රටේ මහජනතාව වෙත වගවීමක් දක්වා වර්ධනය වූවකි. එය හුදෙක් පෙර සඳහන් කලාක් පරිදි අනෙකාගේ නිදහස,අදහස,චරිතය සුරැකීමේ වගවීමක් දක්වා වර්ධනය විය යුත්තකි.
“ඔබේ සැරෑටිය කරකවමින් හෝ බිම ගසමින් ගමන් කිරීමට අයිතියක් ඔබට ඇතුවා සේම එය අනෙකාගේ නාසය අගින් කෙළවර වූවක් විය යුතුය“
-හැරල් ඩී ලැස්වෙල්-
අවශ්‍ය වනුයේ මෙම තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රකාරව ගොඩ නැගෙන ස්වයං විධිත වාරණයයි. මෙම ස්වයංවාරණය හුදෙක් වාරණයක ගතික ලක්ෂණයන්ගෙන් කියවීම නොකල යුත්තක් වන අතර වඩාත් අවබෝධයෙන් අධ්‍යයනය කළ යුත්තකි. ප්‍රවෘත්ති පළ කිරීම ,රචනය යන ක්‍රියාව තුළ ගොඩ නගා ගත යුත් සංයමය නොමැති අවස්ථාවක සිදුවන්නේ වල්බූරු මාධ්‍ය හටගැනීමයි. එවැනි තත්වයක් තුළ පොදුවේ සිදුවන හානිදායක තත්වයට පවතින රජය මැදිහත් වීම සාමාන්‍ය ස්වභාවය වන අතර එය මාධ්‍ය වාරණය කිරීමක් යන අර්ථකතනයකට පොහොසත් නොවේ.
සිදු විය යුත්තේ මාධ්‍ය සිය කාර්ය භාරය නිසියාකාරව කියවා බැලීමයි. සමාජය විශයෙහිලා සිදුකරනු ලැබූ දායකත්වය ගණනය කළ යුතුය. සමබර පුවත් වාර්තාකරණය කිරීම, සමාජයට වැරදි පූර්වාදර්ශ ලබා දීම සහ සමාජය දැනුම මගින් පෝෂණය කිරීම සහ මිථ්‍යා මතවාද සමාජගත කිරීම යන කාර්යය භාරය තුළ වර්තමානයේ මාධ්‍ය හැසිරීම අධ්‍යයනයට ලක් කල යුතුය. මෙම තත්වය අවබෝධ කර ගැනීම සිදු නොවුනහොත් තොරතුරු සමාජ ප්‍රගමණයට දක්වනු ලබන දායකත්වය වෙනුවට තොරතුරු අනුවේදනීය වනු ඇත.
සහන් හේවා ගමගේ