නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරිමට අධිශීතකරණ ලොරි රථ සහ කැබ් රථ පරිත්‍යාගයක්

    ජූලි 22, 2024

    මෙරට ප්‍රාථමික සෞඛ්‍ය  සේවාව සහ ප්‍රතිශක්තිකරණය වැඩපිළිවෙල වැඩිදියුණු කිරිම අරමුණු කර ගනිමින් ජපන් රජය සහ Gavi CDS ව්‍යාපෘතිය විසින් UNICEF සංවිධානයේ සම්බන්ධීකරණයෙන් රුපියල් මිලියන 383 කට අධික වටිනාකමකින් යුත් නවීන අධිශීතකරණ පහසුකම්වලින් සමන්විත ලොරි රථ 10 ක් සහ කැබ් රථ 21 ක් නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාරදීම  අද (22) පෙරවරු‌වේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශ පරිශ්‍රයේ දී  සිදු කෙරිනි. 

     

    සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත මෙම පරිත්‍යාගයන් නිල වශයෙන් බාරදෙන ලද්දේ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Mizukoshi Hideaki මහතා සහ මෙරට වැඩබලන UNICEF නියෝජිත Begona Arellano මහත්මිය විසිනි. 

     

    ජපන් රජය විසින් මෙම ප්‍රදානය යටතේ මෙරට ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් එන්නත් සහ ශීතදාමයන් යටතේ ප්‍රවාහනය කළ යුතු ඖෂධ ප්‍රවාහනය සදහා යොදා ගන්නා නවීන තාක්ෂණයෙන් යුත් අධිශීතකරණ පහසුකම් සහිත ලොරි රථ 09 ක් ලබාදීමට පියවර ගන්නා ලදි. මෙම ලොරි රථවල වටිනාකම රුපියල් මිලියන 228 කට අධික වන අතර, මෙම ප්‍රදානයට අදාල සම්බන්ධීකරණ කටයුතු UNICEF සංවිධානය විසින් සිදු කර ඇත. මෙම ලොරි රථ අවශ්‍යතාවය පරිදි ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශ වෙත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනු ඇත.

     

    Gavi CCDS ව්‍යාපෘතිය යටතේ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම උදෙසා නවීන තාක්ෂණයෙන් යුත් අධිශීතකරණ ලොරි රථයක් සහ ඩබල් කැබ් රථ 21 ක් ප්‍රදානය කිරීමට කටයුතු කළ අතර, එහි වටිනාකම රුපියල් මිලියන 155 කට අධික වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම ඩබල් කැබ් රථ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලවලට සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට අවශ්‍යතාවය පරිදි ලබාදීමට පියවර ගනු ඇත. 

     

    ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Mizukoshi Hideaki මහතා අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන සහ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරිමට ජපන් රජයට දායකත්වය ලබාදිමට හැකිවිම පිළිබද තමන් සතුටු වන බවත්, “Last One Mile Support” වැඩසටහනේ කොටසක් ලෙස මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ දායකත්වය ඇමරිකානු ඩොලර් මිලියන 3 ක් වන බවයි. ඉදිරියටත් මෙවැනි පරිත්‍යාග මෙරටට ලබාදීමට ජපන් රජයේ සහයෝගිතාවයෙන් කටයුතු කරන බවද වැඩිදුරටත් පැවැසීය. 

     

    මෙම ප්‍රදානයන් ලබාගනිමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරිමේ අරමුණින් යුනිසෙෆ් සංවිධානයේ සම්බන්ධිකරණයෙන් ලබාදුන් මෙම පරිත්‍යාග මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරිමට ඉවහල් වන බවයි. ජපන් රජය සහ ශ්‍රී ලංකාව අතර, දීර්ඝකාලීන මිතුදමක් පවතින බව සිහිපත් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, වෛද්‍ය සැපයුම් අංශ ගොඩනැගිල්ල ජපන් රජයෙන් ලැබුන පරිත්‍යාගයන් බව ද පැවසිය. මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල පිළිබදව විශේෂ උනන්දුවක් ජපන් රජය දක්වන බවත්, ඒ වෙනුවෙන් විවිධ අවස්ථාවන් වලදී විවිධ පරිත්‍යාගයන් සිදු කළ බවත් අමාත්‍යවරයා අවධාරණය කරන ලදි. මෙම පරිත්‍යාගයන් වෙනුවෙන් ජපන් රජයටත්, ජපන් ජනතාවටත්, Gavi CDS ව්‍යාපෘතියටත් මෙරට රජය වෙනුවෙන් විශේෂ ස්තූතිය පිරිනමන බව ද පැවැසීය. 

     

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් සුනිල් ගලගම,  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය ජී. විඡේසුරිය, දිනිප්‍රිය හේරත්, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස්, UNICEF ආයතනය නියෝජනය කරමින් සෞඛ්‍ය හා පෝෂණ කළමණාකාර Dr. Abner Daniel යන මහත්වරු ද, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ජපන් තානාපති කාර්යාලය නියෝජනය කරමින් පිරිසක් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya