නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එන්නත්කරණ සේවා වැඩිදියුණු කිරීමට UNICEF සංවිධානයෙන් ශීතකරණ පහසුකම් සහිත ට‍්‍රක් රථ

    ජූලි 22, 2024

    ශ්‍රී ලංකාව පුරා ළමුන්ට එන්නත් ලබාදීමේ ක‍්‍රමවේදය තවත් වැඩිදියුණු කිරීමට ජපාන රජයෙන් ලද අරමුදල් මගින්, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) ප‍්‍රසම්පාදනය කළ ශීතකරණ පහසුකම් සහිත ට‍්‍රක් රථ නවයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අද (22) භාර දී තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයහි දී අද පවත්වන ලද උත්සවයක දී, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති, මිසුකොෂි හිදෙයකි මහතා සහ ශ්‍රී ලංකාවේ UNICEF හි වැඩබලන නියෝජිතවරිය, බෙගෝනා අරෙයනෝ විසින් මෙම ට‍්‍රක් රථ, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත භාර දෙන ලදී.

    එම උත්සවය අමතමින් අමාත්‍ය වෛද්‍ය පතිරණ මහතා මෙසේ සඳහන් කළේය.
    “ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියේ අතිශය වැදගත් අංගයක් වන එන්නත්කරණය තවත් ශක්තිමත් කිරීමට ජපාන රජය සහ UNICEF එක්වී ලබාදෙන මේ සහය මම සාදරයෙන් පිළිගන්නවා. මේ ශීතකරණ පහසුකම් සහිත ට‍්‍රක් රථ, එන්නත් සුරක්ෂිතව සහ කලට වේලාවට ප‍්‍රවාහනය කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇති හැකියාව තවත් වැඩි දියුණු කරාවි.”
    මෙම ට‍්‍රක් රථ, ජපාන රජයෙන් මෙරටට ලබාදෙන ඇ. ඩොලර් මිලියන 3ක මුළු වටිනාකමක් සහිත ප‍්‍රදානයක එක් කොටසක් වන අතර, 2021 සිට මේ දක්වා, සුරක්ෂිත උෂ්ණත්වයක එන්නත් ගබඩා කර තබන විශාල ශීත කාමර, එන්නත් බහාලුම්, උෂ්ණත්වය මැනීමේ උපකරණ ඇතුළු ශීත දාම උපකරණ සහ පහසුකම් ගණනාවක් මේ ප්‍රධානය යටතේ මේ වනවිටත්, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී ඇත.

    ශ්‍රී ලංකාවේ ජපාන තානාපති, මිසුකොෂි හිදෙයකි මහතා මෙසේ අදහස් පළ කළේය, “ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම සඳහා, ජපානයේ දීර්ඝ කාලීන කැපවීමෙහි සංකේතයක් වශයෙන් ශීතකරණ පහසුකම් සහිත ට‍්‍රක් රථ නවයක් භාරදීමට ලැබීම මා ලැබූ ගෞරවයක්. එන්නත් මගින් වලක්වා ගත හැකි රෝගවලින් සෑම ප්‍රජාවකටම ආරක්ෂාව සැලසෙන බව සහතික කරමින්, රටපුරා එන්නත් ප‍්‍රවාහනය කිරීමේ පද්ධතියේ වැදගත් කොටසක් බවට මේ ට‍්‍රක් රථ පත් වේවි.”

    එන්නත්, මධ්‍යම ගබඩාවල සිට ප‍්‍රාදේශීය ගබඩා පහසුකම් දක්වා සහ එතැනින් සෞඛ්‍ය මධ්‍යස්ථාන දක්වා ප‍්‍රවාහනය කිරීමට මෙම ට‍්‍රක් රථවලින් පහසුකම් සැලසෙනු ඇත. එන්නත් බහාලුම් හා උෂ්ණත්ව මැනීමේ උපකරණ මේ වනවිටත් ප‍්‍රසම්පාදනය කර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ රෝහල් වෙත බෙදාහැර අවසාන ය.
    “එන්නත්කරණය තුළින් බොහෝ ළමුන්, වැලැක්විය හැකි ලෙඩරෝගවලින් ආරක්ෂා කර දෙමින් ඔවුන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට හැකියාව ලබාදෙනවා. එන්නත් උෂ්ණත්වයට සංවේදී බැවින් එ්වා නිසි තත්ත්ව යටතේ ප‍්‍රවාහනය කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සෑම දෙසකම සිටින ළමුන් වෙත නිවැරදි එන්නත්, නිවැරදි වේලාවට ළඟා කරන්නට මේ ට‍්‍රක් රථ අපට උදවු කරනවා. රටේ දරුවන්ගේ සෞඛ්‍ය වැඩිදියුණු කිරීමෙහි ලා ජපාන රජයේ දීර්ඝ කාලීන සහයත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගීතාවයත් UNICEF අගය කරනවා,” යනුවෙන් ශ්‍රී ලංකාවේ UNICEF හි වැඩබලන නියෝජිතවරිය, බෙගෝනා අරෙයනෝ සඳහන් කළාය.

    ළමයින්ගේ දීර්ඝ කාලීන සහ කෙටි කාලීන සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම කිරීම සඳහා UNICEF සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව දරන වෑයම් සඳහා ජපාන රජය වසර ගණනාවක් තිස්සේ මහඟු දායකත්වයක් ලබා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya