අමාත්‍යවරයා ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව පැවසුවේ ඊයේ (21) පෙරවරුවේ හෝමාගම නව සිව් මහල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සුරතින් මෙම නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල් විවෘත කරන ලදී.
මෙහි දී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා;
“මේ රටේ ජනතාවගේ උවමනාපාකම් ඉටු කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් විශාල වැඩ කොටසක් ඉෂ්ට කරන්න සිද්ධ වෙනවා. දිස්ත්‍රික් ලේකම්තුමා ඒවාගේම මේ පළාතේ ඉන්න ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වන ප්‍රාදේශීය ලේකම්තුමාට සම්බන්ධ විශාල රාජ්‍ය නිලධාන පිරිසක් ඉන්නවා. ලංකාවේ රාජ්‍ය සේවය ලක්ෂ දාසයක් පමණ වෙනවා.
විදුහල්පතිතුමන්ලා ගුරුමහත්ම මහත්මීන් වෛද්‍යවරුන් හෙද හෙදියන් පොලිසිය ත්‍රිවිධ හමුදාව ආරක්ෂක අංශ ග්‍රාම නිලධාරීන් කෘෂි නිලධාරීන් සමෘද්ධි නිලධාරීන් සංවර්ධන නිලධාරීන් වශයෙන් ලක්ෂ දාසයක පමණ පිරිසක් රටේ ඉන්නවා. ඒ රාජ්‍ය සේවකයන් සියල්ලටම මාසය අවසානයේ වැටුප් ගෙවීම තමයි ඕනෑම රජයක ප්‍රධාන වගකීමක් වෙන්නේ. නැත්නම් ඒ අයගේ දරු පවුල් වලට ජීවත් වෙන්න බැරි වෙනවා. ඊළඟට විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවිය යුතුයි. සෑම ආණ්ඩුවක්ම එදිනෙදා පවත්වාගෙන යාම වෙනුවෙන් රාජ්‍ය සේවක වැටුප් විශ්‍රාම වැටුප හා ජීවත්වීමට ජීවිතයත් සමඟ අරගලයක යෙදෙන අතිමහත් දිළිදු ජන කොටස් වලට සහනාධාර ගෙවිය යුතුයි.
ඒවා කරන්න ආදායමක් නැති නිසා ගත්ත ණය වලට ගෙවන පොලී, පුනරාවර්තන වියදම් රජය දැරිය යුතුයි. කවුරු රටේ ජනාධිපති වුණත් ආණ්ඩු කළත් ඒ ආණ්ඩුව එදිනෙදා පවත්වාගෙන යාම වෙනුවෙන් දරන වියදම නැවත නැවතත් දැරීමට ප්‍රමාණවත් ආදායමක් කිසි ආණ්ඩුවක් පසුගිය කාලය තුළ ලබාගෙන නැහැ.ඒ නිසා සෑම වර්ෂයකදීම රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් ගෙවලා පුනරාවර්තන වියදම් දරන්න ණය ගන්ත ආණ්ඩු තමයි අපේ රටේ තිබිලා තියෙන්නේ. කිසිම ආණ්ඩුවකට සිතන පතන ආකාරයට වියදම් කරන්න විදිහක් නැහැ. සෑම වියදමක්ම රටේ බදු ගෙවන ජනතාවගෙන් හා අනෙකුත් ක්‍රම වලින් අයකර ගත යුතුයි” යනුවෙනි.
එමෙන්ම, අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“මේ දිනවල අපේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ අනුමැතියෙන් තොරව, දිස්ත්‍රික් ලේකම්තුමාගේ අනුමැතියෙන් තොරව මහා සංඝරත්නයේ විරෝධතා මැද හෝමාගම මැතිවරණ කොට්ඨාසය තුළ මත්පැන් බලපත්‍ර නිකුත් කරගෙන යනවා. ප්‍රාදේශීය ලේකම්තුමන් කලාප නිලධාරිනුත් එකතු වෙලා ඉතා විශාල පොසොන් කලාපයක් හෝමාගම කලා. පොසොන් කලාපය නිමවෙලා කූඩු තරග පවත්තපු මඟ දෙපස මිහිඳු හිමියන් ආපහු වැඩලා බලපත්‍ර දෙනවා වගේ තැබෑරුම් විශාල ප්‍රමාණයක් විවෘත කරන් යන ත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක නතර වෙන්න ඕන මක්නිසාද යත් මේ රටේ අනගාරික ධර්මපාලතුමාගේ මුනුපුරෙකු වූ මේ ප්‍රදේශය නියෝජනය කළ කැබිනට් ඇමතිවරයකු වූ ගාමිණී ජයසූරිය මැතිතුමා ප්‍රතිපත්තියක් වශයෙන් හෝමාගම මැතිවරණ කොට්ඨාසය තුළ තැබෑරුම් විවෘත කරන්න බලපත්‍ර දුන්නේ නැහැ. මගේ ප්රතිපත්තියත් එයයි ඒ නිසා කරුණාකරලා සුරාබදු කොමසාරිස්තුමාට කියනවා මේ සියලුම බලපත්‍ර ඉතා කෙටි කාලයක් තුළදී ගෞරවනීය මහා සංඝරත්නයේ ඉල්ලීම මත මගේ මැතිවරණ කොට්ඨාසය තුළින් වහාම ඉවත් කරලා දෙන්න කියලා. මක්නිසාදයත් මේ මැතිවරණ කොට්ඨාසය අපි ගොඩ නගන්නේ දැනුම් කේන්ද්‍රීය නගරයක් ලෙසයි.
මම ග්‍රාමීය සංවර්ධන ඇමතිවරයා ලෙස මගේ ඇඟිලි දෙක එකතු කරලා කිසිම මත්පැන් බලපත්‍රයකට අත්සන් කරලා නැහැ. ජනාධිපතිතුමන් අග්‍රාමාත්‍යතුමන් ආණ්ඩුවෙනුත් මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා හෝමාගම සංවර්ධන කමිටුවේ සභාපති ලෙස මත්ද්‍රව්‍ය බලපත්‍ර ඉවත් කරලා දෙන්න කියලා. සිහිබුද්ධිය තියෙන වැදගත් අවිහිංසක මිනිසුන් සහිත මත්ද්‍රව්‍යයෙන් තොර සාමකාමී සහජීවනය පිරුණු මැතිවරණ කොට්ඨාසයක් බවට පත්කරන්න සෑම දෙනා එකතුවෙලා වැඩ කරන්න කියන පණිවිඩය මම ලබා දෙනවා යයි වැඩිදුරටත් පැවසීය” යනුවෙනි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ, යදාමිණි ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මික විජේසිංහ, කොළඹ දිස්ත්‍රික් ලේකම් සුසන්ත ගිනිගේ, රෙජිස්ට්‍රාර් ජෙනරාල් එන්.එස්. විජේසිංහ යන මහත්වරු රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වූහ.