ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමේදී තමන් එහි වගකීම බාර දෙන්නේ විෂය සම්බන්ධ පළපුරුදු අයකුට බවත් ඒ අනුව එවැනි කටයුතු සිදු කළේ කේ. එන් චොක්සි වැනි නීතිඥවරුන් සමඟ බවත් ජනාධිපතිවරයා සිහිපත් කළේය.
කෙසේ වුවත් 2015 වසරේ ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන අවස්ථාවේදී චොක්සි මහතා ජීවතුන් අතර නොසිටි බැවින් එම කටයුත්ත ජයම්පති වික්‍රමරත්න නීතිඥවරයාට බාර දීමට සිදු වූ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේය.
එම අවස්ථාවේ ඔහුගෙන් සිදු වූ අතපසුවීමක් නිසා වත්මන් ගැටළු සහගත තත්ත්වය ඇති ව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ පිළිබඳ තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (19) එක් වෙමිනි.
ගාල්ල ප්‍රදේශයේ ජනතාවගේ යුක්තිය පසිඳලිමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් රුපියල් මිලියන 1600 ක් වැය කරමින් ඉදිකෙරුණු මෙම නව අධිකරණ සංකීර්ණය සිවිල් අභියාචන මහාධිකරණයක්, මහාධිකරණ දෙකක්, දිසාධිකරණ තුනක්, මහේස්ත්‍රාත් අධිකරණ දෙකක්, නීති ආධාර මධ්‍යස්ථානයක්, ප්‍රජා විශෝධන කාර්යාලයක් , පරිවාස කාර්යාලයක් , ණය සහනදායි මණ්ඩලය සඳහා කාර්යාලයක් ඇතුළු අධිකරණ කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතය.
සමරු ඵලකය නිරාවරණය කර නව අධිකරණ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
ගාල්ල නීතිඥ ප්‍රජාව විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබිණ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,
මෙම අධිකරණ සංකීර්ණ ගොඩනැඟිල්ලේ කටයුතු අවසන් කිරීම පිළිබඳ මාම විජයදාස රාජපක්ෂ ඇමතිතුමාට ස්තූතිවන්ත වෙනවා. සංචාරක කලාපයක් ලෙස එම ප්‍රදේශය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බැවින් පැවති අධිකරණ සංකිර්ණය හැකි ඉක්මණින් මෙතනින් ඉවත් කරන ලෙස මෙම දැනුම් දුන්නා. අද එම කටයුත්ත සිදු කර තිබෙනවා.
ගාල්ල ප්‍රදේශයේ සංචාරක කලාපයක් ලෙස ගොඩනැඟීමේදී මෙම පළාතෙන් පිට විශාල හෝටල් ඉදිකිරීම සඳහා අප ඉඩම් හඳුනාගෙන තිබෙනවා. ගමනාගමන මණ්ඩලය, දැව සංස්ථාව සහ මහමෝදර රෝහලත් ඒ වගේම හෙද විදුහල, බන්ධනාගාරය සහ තැපැල් කාර්යාලයත් නගර මධ්‍යයට ගෙන යාමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම හික්කඩුව ප්‍රදේශයේත් මෙවැනි අධිකරණ සංකිර්ණයක් ඉදිකිරීමට අප සැලසුම් කර තිබෙනවා.
ගාල්ල දිසා අධිකරණ සංකීර්ණය මේ රටේ ඉතිහාසයේ කොටසක් බව කිව යුතුයි. ඕලන්ද පාලනයෙන් පසු බතාවියානු ප්‍රකාශය මඟින් ලංකාවේ රෝමානු ලන්දේසි නීතිය ක්‍රියාත්මක කළා. රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක කරන විට මේ ගාල්ල ප්‍රදේශය අධිකරණ බල ප්‍රදේශයක් බවට පත් වුණා. මෙහි අධිකරණ මණ්ඩලයක් සහ සිවිල් මණ්ඩලය හා ඉඩම් මණ්ඩලයක්ද පත් කළා. අපේ අධිකරණ ක්‍රියාවලිය ආරම්භ වුණේ මේ ආකාරයටයි. ඒ අනුව ගාල්ල අධිකරණ ප්‍රදේශය මාතර දිසාව, ගාල්ල වශයෙන් කොටස් දෙකක් ලෙස පැවතුණා. කෙසේ වුවත් අධිකරණ කලාපයක් ලෙස තවමත් ඒ අයුරින් ක්‍රියාත්මක වන්නේ ගාල්ල දිස්ත්‍රික්කය පමණයි.
මේ අතර ඉඩම් මණ්ඩලයේ බහුතරයක් සිටියේ ඕලන්ද ජාතිකයන්. ඉතිරි සුළුතරය රුහුණේ සිටි ලාංකිකයන්. ශ්‍රී ලාංකිකයන් නීතිය ඉගෙන ගත්තේ එතනින්. පසුව ඉංග්‍රීසි සමයේදී මෙම පිරිස නීතිඥවරුන් ලෙස ඉදිරියට පැමිණියා.
එතැන් සිට ලාංකිකයන් බොහෝ පිරිසක් නීති ක්ෂේත්‍රය තුළ කටයුතු කළා. ඒ වගේම නීතියේ සිට ව්‍යවස්ථාදායක සභාවට පැමිණියා. ඒ අනුව ව්‍යවස්ථාදායක ක්‍රමයේ පදනම බවට පත් වූණේ නීතිඥයන්. ඉන්පසුව සර්වබල ඡන්ද බලය හිමි වූ නිසා ඩොනමෝර් ක්‍රමය යටතේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සේවය කළා. ඉන්පසුව සෝල්බරි ව්‍යවස්ථාව මඟින් ඉංග්‍රීසි ක්‍රමය ඇති වුණා. ඉන්දියාව වෙනම ජනරජ ව්‍යවස්ථාවක් ගෙන එන විට අප ඉංග්‍රීසි ක්‍රමය ලබා ගත්තා.
ඉන්පසුව කොල්වින් ආර්. ද සිල්වා යටතේ පළමු ජන රජ ව්‍යවස්ථාව හදුන්වාදුන් අතර, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා දෙවන ජන රජ ව්‍යවස්ථාව ඉදිරිපත් කළා. අපට ව්‍යවස්ථා ඉතිහාසයක් තිබෙන අතර නීතිය සමඟ බැඳීමක් සහ ගරු කිරීමක් ද තිබෙනවා.
1931 වසරේදී ආසියාවේ සහ අප්‍රිකාවේ පළමු වරට සර්ව ජන ඡන්ද බලය ලැබුණේ ශ්‍රී ලංකාවටයි. වෙන කිසිඳු රටකට එය හිමි වුණේ නැහැ. ඇමරිකාවේත් ඇතැම් ප්‍රාන්තවල කළු ජාතිකයන්ට ඡන්දය තිබුණේ නැහැ. එය ලබාගැනීමෙන් පසු අඛණ්ඩව ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කර තිබෙන එකම රට ශ්‍රී ලංකාවයි. අප මේ පිළිබඳ ආඩම්බර විය යුතුයි.
යුද්ධ තිබුණත්, කැරළි තිබුණත් 1931 සිට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ ආසියාවේ සහ අප්‍රිකාවේ එකම රට ශ්‍රී ලංකාවයි. අප කොතරම් වාද කළත්, ප්‍රජාතන්ත්‍රවාදය කැඩෙන්න ඉඩ දුන්නේ නැහැ.
මැතිවරණයකින් පරාජය වූ පසු ගැටුමකින් තොරව බලය මාරු කර ගන්නේ ලංකාවේ පමණයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙනවා. වාද විවාද ඇති වුණත්, කිසිවිටෙකත් ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙන්නේ නැහැ.
ඇතැම් ප්‍රශ්න මතු වූ විට ප්‍රජාතන්ත්‍රවාදය නැති වන බව සමහරු කියනවා. අපේ ව්‍යවස්ථායකය, අධිකරණය සහ දේශපාලන ක්‍රමය කෙසේ හෝ මෙම ක්‍රමවේදය ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. මේ අයුරින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ලොකුම තර්ජනය එල්ල වුණේ 2022 වසරේ. නමුත් අප එකඟත්වයෙන් ඉදිරියට යනවා.
අපට පාර්ලිමේන්තුවේ වාද කළ හැකියි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි. දැන් ඉදිරියේදී මැතිවරණය පැවැත්වෙනවා. අගවිනිසුරුතුමා සහ ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා ඡන්දය මෙම කලාසීමාවේදී පැවැත්විය යුතුයි කියලා. අපත් ඊට එකඟයි.
2015 වසරේ අප අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළා. මම මෙවැනි කටයුතු සාමාන්‍යයෙන් භාර දෙන්නේ කේ. එන් චොක්සි නීතිඥතුමාටයි. නමුත් ඒ වන විට ඔහු ජීවතුන් අතර නොසිටි නිසා ජයම්පති වික්‍රමරත්න නීතිඥතුමාට එම කටයුත්ත භාර දුන්නා. එතුමාට එක වාක්‍යයක් ඉවත් කිරීමට නොහැකි වුණා. එපමණයි සිදුව තිබෙන්නේ. මේ කෑ ගහන්නේ ඒකට. එය එතුමාගෙන් සිදු වූ අතපසුවිමක්. එම අතපසුවීම ගැන රටේ ජනතාවගෙන් මම සමාව ඉල්ලනවා. ඒ ගැන තවත් ප්‍රකාශ සිදු කිරීම අවශ්‍ය නැහැ. ඒ නිසා මේ පිළිබඳ බය වෙන්න එපා. අපේ රට 1931 සිට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර තිබෙනවා.
ඒ වගේම මෙම ගාලු ඉතිහාසයේ උරුමය පිළිබඳ ග්‍රන්ථයක් සම්පාදනය කිරීමට කටයුතු කරනවා නම් ආණ්ඩුවෙන් ඒ සඳහා මුදල් ලබා දෙන බවද ප්‍රකාශ කරනවා.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා
රුහුණේ පුරවැසියෙක් ලෙස අද මටත් ඉතා සතුටුදායක දිනයක් බව කිව යුතුයි. නවීන පන්නයේ අධිකරණ සංකීර්ණයක් අද දකුණු පළාතට හිමිව තිබෙනවා.
ගාල්ල ප්‍රදේශයේ නීතිඥවරුන්ට සිය කටයුතු කරගෙන යාමේ දී අඩු පාඩු රැසකට මුහුණ දීමට සිදුව තිබුණා. මේ අධිකරණ සංකීර්ණයේ වැඩ අවසන් කිරීමට වසර 12ක් පමණ ගත වුණා. ඒ වගේම මෙහි වැඩ කටයුතු කරගෙන යාමේ දී විවිධ ප්‍රශ්නවලට මුහුණදීමටත් සිදු වුණා. ජනාධිපතිතුමාගේ මැදිත්විම නිසා අද මෙම සුන්දර ගොඩනැඟිල්ල ඉදිකිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා.
පසුගිය වසර දෙක තුළ රට අර්බුදකාරී තත්ත්වයකට පත්වුණද අධිකරණ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට ජනාධිපතිතුමා අවශ්‍ය පහසුකම් ලබා දුන්නා.
මෙම නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමත් සමඟ ඇතැම් පාර්ශ්ව විවිධ චෝදනා එල්ල කරනවා. ඒ නිසා මෙම නව අධිකරණ සංකීර්ණය අප ඉදිකළේ දේශපාලන අභිමතාර්ථ ඉටු කර ගැනීමට නොවන බව සඳහන් කළ යුතුයි. අධිකරණය තුළින් ජනතාවට සහනයක් ලබාදීම අපේ අරමුණයි. අධිකරණය ජනතාවගේ දේවාලයක් ලෙස අප සලකනු ලබනවා.
කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා,
මෙම අධිකරණ සංකීර්ණය යතාර්ථයක් බවට පත් කිරීමට සහාය දුන් සැමට ස්තූතිවන්ත වෙනවා. එදා රට ආර්ථික අර්බුදයට ලක් වූ අවස්ථාවේ මෙහි වැඩ කටයුතු කරගෙන යාම අසීරු වුණා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම් අවසන් කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන්නා. එසේ නොවන්නට මෙය මහ පොළොවේ යතාර්ථයක් බවට පත් නොවීමට ඉඩ තිබුණා.
රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, ගීතා කුමාරසිංහ, මොහාන් ප්‍රියදර්ශන සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, සම්පත් අතුකෝරල, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති පාරින්ද රණසිංහ, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. එස් හපුගස්වත්ත යන මහත්වරුන්, මහාධිකරණ විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන්, ගාල්ල නීතිඥ සංගමයේ සභාපති රුවන් ආසිරි ද සිල්වා ඇතුලු නීතිඥවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.