අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මගේ ඇමති බලතල පාවිච්චි කරමින් කිසිදු මාර්ග බලපත්‍රයක් නිකුත් කර නැහැ - ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

    මාර්තු 19, 2024

    ඇමති බලතල පාවිච්චි කරමින් කිසිදු මාර්ග බලපත්‍රයක් නිකුත් කර නැතැයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 

    එසේම අත්‍යවශ්‍යම තත්ත්වයක් යටතේ මිස වෙනත් කිසිදු හේතුවක් මත ඉදිරියේදී නව මාර්ග බලපත්‍ර ලබාදීමක් සිදු නොවන අතර විධිමත් ඒකාබද්ධ කාලසටහන් ක්‍රමයක් ඔස්සේ බස් රථ ධාවනය සිදු කිරීමට නියමිත  බවද හෙතෙම පැවසීය. මේ වන විට රට තුළ මගී ප්‍රවාහන බස් රථවල අතිරික්තයක් පවතින අතර ජනතාව ක්‍රමක්‍රමයෙන් මගී ප්‍රවාහන බස් රථ භාවිතයෙන් ඈත් වීමක්ද දක්නට ලැබෙන බවත්, මේ තත්ත්වය නිවැරදි කර ගනිමින් මගී ජනතාවට වඩාත් සමීප සේවාවක් ලබාදෙමින් මගී ප්‍රවාහන සේවාවන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දෙනා එක්ව දායක විය යුතු බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ අවස්ථාවේදී ප්‍රකාශ කළේය.


    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා.
    "තාවකාලිකව වෙනත් මාර්ගයන් වෙත යොමු කරන ලද බලපත්‍ර හිමියන් වෙත එම මාර්ගවලට අදාළ ස්ථිර බලපත්‍ර නිකුත් කරන ලෙස ලැබුණු අධිකරණ නියෝගයකට අනුව මෙම බලපත්‍ර නිකුත් කිරීමට අප විසින් කටයුතු කර තිබෙනවා. නමුත් මින් ඉදිරියට පුද්ගලික අංශය වෙනුවෙන් මගී ප්‍රවාහන බස් රථ බලපත්‍ර නිකුත් කිරීමට අප බලාපොරොත්තු වන්නේ නැහැ.
    පසුගිය කාලය තුළ රට තුළ මතුවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් හේතුවෙන් බස් රථ ගිණි තැබීම්වලට ලක්වූ, ජලයේ ගිල්වීමට ලක්වූ විශාල පිරිසක් සිටිනවා. ඉන් බහුතරයකට රක්ෂණ ආයතන වලින් පවා වන්දියක් හිමිවී නැහැ. එලෙස අහිමිවූ බස් රථයක් වෙනුවෙන් බලපත්‍රයක් ඉල්ලා සිටීම සාධාරණයි. එවැනි මානුෂිය ගැටළු රාශියක් පවතිනවා.
    ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට ගරු කරමින් මෙම බස් රථ බලපත්‍ර ලබා දීමෙන් අනතුරුව, මින් ඉදිරියට බස්රථයක් ධාවනයට එක් කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව පනතේ විධිවිධාන වලට අනුව ප්‍රසිද්ධ දැන්වීමකින් අනතුරුව වෙන්දේසි මිලට අනුව පමණක් බලපත්‍ර නිකුත් කිරීම සිදුවනු ඇති. එම ක්‍රමවේදය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. එසේ නොමැතිව එක් එක් දේශපාලනඥයින්ට අවශ්‍ය ආකාරයට බලපත්‍ර ලබා දීමට සිදුවුවහොත් මෙම කර්මාන්තය බිඳ වැටෙනවා. මේ සියලු තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරමින් විෂය භාර අමාත්‍යවරයා ලෙස මා මෙම අමාත්‍යංශයේ වගකීම භාර ගැනීමෙන් අනතුරුව අමාත්‍ය ධුරයේ බලතල භාවිතා කරමින් කිසිදු මාර්ග බලපත්‍රයක් මේ වනතුරු නිකුත් කර නැහැ.
    එම නිසා සියලු දෙනාටම වඩාත් යහපත් අදායමක් ලැබෙන ආකාරයට, පවතින මගී අවශ්‍යතාවයට අනුව ලංගම සහ පුද්ගලික අංශය අතර ඒකාබද්ධ විද්‍යාත්මක කාලසටහන් ක්‍රමවේදයක් මේ වනවිට සකස් කර තිබෙනවා. ඒ තුළින් සියලු දෙනාටම සාධාරණ අවස්ථාවන් හිමිවනවා. එමෙන්ම අනෙකුත් බස් රථ සමග ගැටුම්වලට යොමුවීම බස් රථ බලපත්‍ර අහෝසි වීමට හේතුවනවා.
    එමෙන්ම සියලුම මගී ප්‍රවාහන බස් රථ සේවාවන් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුයි. එමෙන්ම අනාගත ලෝකයට ගැලපෙන අයුරින් පොසිල ඉන්ධන භාවිතයෙන් තොරව කටයුතු කරමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ඊ මෝටරින් ප්‍රතිපත්තිය කැබිනට් අනුමැතිය සඳහා යොමු කර තිබෙනවා. ඒ අනුව මුලින්ම ත්‍රිරෝද රථ විදුලියට පරිවර්තනය කිරීමත් ඉන් අනතුරුව මගී ප්‍රවාහන බස් රථ විදුලියට පරිවර්තනය කිරීමත් සිදු කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාත තුළ විදුලි බස් රථ දෙසීයක් ධාවනය ආරම්භ කිරීමේ කටයුතු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙමින් පවතිනවා. ලෝකයේ බොහෝ රටවල් මේ වන විටත් විදුලි බස් රථ ධාවනය ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී පෞද්ගලික අංශයටද විදුලි බස් රථ ධාවනයට එක්වීමේ අවස්ථාව තිබෙනවා."

    ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් රූබසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, ජාතික ගමනාකම කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා ඇතුළු එම ආයතනයේ නිලධාරීන්, බලපත්‍රලා පින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya