මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවි ජනතාවගෙන් ජල බද්දක් අයකිරීමට රජයේ කිසිදු අපේක්ෂාවක් නැහැ - අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි

    මාර්තු 01, 2024

    රටට බත සපයන ගොවි ජනතාවගෙන් ජල බද්දක් අයකිරීමට රජයේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

    අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ රටේ ජල සම්පත සුරක්ෂිත කිරීම සඳහා ජල ප්‍රතිපත්තියක් සැකසීම කෙරෙහි යෝජනාවක් පමණක් ඉදිරිපත් වී ඇතිබවයි. එවැනි ජල ප්‍රතිපත්තියක් සකස් කිරීම අද හෙට සිදුවන්නක් නොවන බවත්, එය සකස් කිරීමට දීර්ඝ කාලයක් ගතවන අතරම, ඒ සඳහා විවිධ අංශ කෙරිහි අවධානය යොමු කරමින් සිදු කළ යුතු ගැඹුරු ක්‍රියාවලියක් බවත්, අමාත්‍යවරිය කියා සිටියාය.

     පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (29) පෙරවරුවේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යලයේ දී ගොවි සංවිධාන නියෝජිත හමුවකට සහභාගි වෙමිනි. වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ ක්ෂේත්‍රයේ ගොවි ගැටළු නිරාකරණය කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණ අතර මේ සඳහා අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්ක වලට අයත් ගොවි සංවිධාන නායකයින් සහභාගී වී සිටිය හ.

    ගොවි සංවිධාන නියෝජිතයෙකු මෙහිදී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගෙන් විමසා සිටියේ ගොවි ජනතාව ට ජල බද්දක් අයකිරීමේ සැලැස්මක් තිබෙන බවට පවතින මතය සත්‍යයක් ද යන්න යි. ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය වරිය පෙන්වා දුන්නේ ජල බද්දක් පනවන බවට ඇතැම් දේශපාලන කණ්ඩායම් ගොවි ජනතාව තුල බිල්ලෙක් මවාපාන බවයි.
    ජලය බෙදා හැරීමේ දී එය මුලින්ම ජනතාව ගේ පානීය ජල අවශ්‍යතාව සඳහා නිකුත් කරන්නේද, විදුලි බලය සඳහා නිකුත් කරන්නේ ද, නොයෙසේනම් කෘෂිකාර්මාන්තය සඳහා නිකුත් කරන්නේ ද යන්න ප්‍රතිපත්තියක් සැකසීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා මිසක්, ජල බද්දක් පැනවීමේ තීන්දුවකට රජය කිසිසේත් එළඹ නොමැති බවත් ඉදිරියේ දී ද එවැනි තීරණය ක් රජය නොගන්නා බවත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණයෙන් ප්‍රකාශ කර සිටියාය.

     

    මෙම සාකච්ඡාවේ දී ගොවි සංවිධාන නියෝජිතයින් විසින් වාරි ඇළ මාර්ග නඩත්තු කටයුතු, වන සතුන්ගෙන් සිදුවන වගා හානි, විදුලි වැට ඉදිකිරීම් සහ නඩත්තු කිරීම්, වී මිල, පොහොර සහනාධාර මුදල් ප්‍රමාදවීම් ඇතුළු වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අංශයේ ගැටලු සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කෙරුනි.

    විශේෂයෙන් යාන් ඔය ව්‍යාපාරයෙන් ඉඩම් අහිමි වූ ජනතාවට වන්දි ලබා දීමේදී ඇතිවී තිබෙන ප්‍රමාදයන් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර, එහිදී අමාත්‍යවරිය සඳහන් කළේ තවදුරටත් වන්දි මුදල් නොලැබුණු ගොවි ජනතාව ට කඩිනමින් එම වන්දි මුදල් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩලයට දැනටමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවයි. මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් වැව් රක්ෂිත වල පවතින අනවසර ඉදිකිරීම් සහ අත්පත් කර ගැනීම් සම්බන්ධයෙන් මෙහිදී දිගින් දිගටම ගොවීන් ගෙන් අදහස් ඉදිපත් විය. ඒ අනුව දිවයිනේ සියළු වැව් රක්ෂිත සම්බන්ධයෙන් සොයා බලා පූර්ණ වාර්තාවක් කැඳවීමට පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරායට නියම කළා ය.

     

     

    මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. එම් චන්ද්‍රසේන, එච් නන්දසේන යන මහත්වරු සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනිත ජයසුන්දර, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර, වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූර්ය බණ්ඩාර, වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන යන මහත්වරු ඇතුළු නිලධාරීන් හා ගොවි සංවිධාන නියෝජිතයින් රැසක් සහභාගී වී සිටිය හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya