අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවි ජනතාවට තරගකාරී මිලක් යටතේ සියලු පොහොර මිල දී ගැනීමේ වැඩ පිළිවෙළක්

    මැයි 25, 2023

    ගොවි ජනතාවට තරගකාරී මිලක් යටතේ සියලු පොහොර මිල දී ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සහ රජය මගින් ලබා දෙන ගොවි සහන සඳහා අවශ්‍ය තරම් මුදල් ප්‍රතිපාදන ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    2023 යල කන්නයේ යුරියා පොහොර ඇතුලු සියලු පොහොර බෙදාහැරීම්වල ප්‍රගතිය සම්බන්ධව අද (25) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

    එසේම ඊයේ (24) වන විට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 24,503ක් රටපුරා බෙදා හැර තිබේ. එමෙන්ම ලබන මාසයේ පළමු සතිය තුළ තවත් මෙට්‍රික් ටොන් 31,250ක් සහිත යුරියා පොහොර නැවක් කොළඹ වරායට පැමිණීමට නියමිතය. දිවයින පුරා පිහිටි ගොවි ජන සේවා මධ්‍යස්ථාන 562න් මාතර එක් ගොවි ජන සේවා මධ්‍යස්ථානයක් හැර අනිකුත් මධ්‍යස්ථාන සියල්ලෙහිම අවශ්‍ය තරම් යුරියා පොහොර පවතී. මේ හැර පුද්ගලික අංශය සතුව තිබෙන යුරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 8,760කි.

    එමෙන්ම අවශ්‍ය තරම් බන්ඩි පොහොර ( MOP) තිබෙන අතර මඩපොහොර නොමිලයේ සියලුම ගොවීන්ට මේ වනවිට බෙදාහැර අවසන් කර තිබේ. එමනිසා කිසිදු හිඟයකින් තොරව සියලු පොහොර ගොවීන්ට ලබා දීමට සැලසුම් කර ඇති අතර යුරියා පොහොර මිටියක් රුපියල් 10,000ක මුදලට දැනට අලෙවි කළත්, ලබන මාසයේ දී ලැබෙන යුරියා පොහොර තොගයත් සමග යුරියා මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    තම ගොවිබිම්වලට බන්ඩි පොහොර නිර්දේශිත ප්‍රමාණයම යොදන ලෙසත් රජය පොහොර සහනාධාරය වශයෙන් ලබා දෙන ලද වවුචර්පත් යොදා ගනිමින් ඉන් සියයට 50ක්වත් බන්ඩි පොහොර මිල දී ගැනීමට යොදාගන්නා ලෙස ද අමාත්‍යවරයා එහිදී ඉල්ලීමක් කර තිබේ.

    බන්ඩි පොහොර නොයෙදීමෙන් වී අස්වැන්න අඩු වන බවත් බන්ඩි පොහොර කුඹුරුවලට යෙදීම සඳහා වැඩි ප්‍රමුඛත්වයක් ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටී.
    මෙම යල කන්නයේ පොහොර සහනාධාර වවුචර්පත් සඳහා රජය රුපියල් මිලියන 10,000ක මුදලක් වැය කර තිබේ. එමෙන්ම 2023 වර්ෂයේ දී පොහොර සහනාධාරය සදහා පමණක් රජය රුපියල් මිලියන 56,000ක් වෙන් කර ඇත. ගොවි ජනතාවට අවශ්‍ය සහන සැලසීම සදහා තවත් මුදල් ප්‍රතිපාදන අවශ්‍ය නම් ඒවා ලබා දීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබා දී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    රජය මෙම සියලු පියවර ගනු ලබන්නේ ගොවිජනතාවගේ නිෂ්පාදන වියදම් අඩු කිරීමට බවත්, එමගින් වෙළෙඳ පොලේ අඩු මිලකට සහල් මිල දී ගැනීම සදහා පාරිභෝගිකයාට අවස්ථාවක් ලැබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

    මෙම අවස්ථාවට ලංකා පොහොර සමාගම හා කොමර්ශල් පොහොර සමාගම් දෙකේම සභාපතිවරයා ලෙස කටයුතු කරන ආචාර්ය ජගත් පෙරේරා මහතා සහ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya