අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෑලියගොඩ මැනිං වෙළද සංකීර්ණයේ ගැටළු කඩිනමින් විසඳීමට පියවර

    සැප්තැම්බර් 22, 2022

     මැනිං වෙළඳ සංකීර්ණයේ විශමාචාර ක්‍රියාවල නිරත පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් උපදෙස් - ඇමති ප්‍රසන්න රණතුංග

    පෑලියගොඩ මැනීං වෙළද සංකීර්ණයේ පවතින ගැටළු කඩිනමින් විසදා පියවර ගන්න යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි.

    නාගරික සංවර්ධන අධිකාරිය, වෙළද සංගමය, පොලිසීය සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමග එක්ව එම ගැටළු විසදීමට ගත් පියවර සම්බන්ධයෙන් තමන්ට වාර්තා කරන ලෙස ද ඇමතිවරයා නාගරික සංවර්ධන අධිකාරියට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

    පිටස්තර පාර්ශවයන් විසින් පෑලියගොඩ මැනිං වෙළද සංකීර්ණය විවිධ විෂමාචාර ක්‍රියාවන්ට භාවිතා කරන බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි පවසන ඇමතිවරයා‍ එම විෂමාචාර ක්‍රියාවල නිරත පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් දුන්නේය.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ පවතින ප්‍රධාන ගැටළු සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් හා පෑලියගොඩ වෙළඳ සංගමය සමඟ සිකුරාදා (16) දින නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

    වෙළඳ සංකීර්ණයේ කඩ කාමර, රථගාල, වැසිකිලි , විදුලිය, ජලය, ඇතුළු පහසුකම් සැපයීමේදී පවතින ප්‍රධාන ගැටළු ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරිණ.

    පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණය මගින් වැඩි ආදායම් ලබන ස්ථානයක් බවට පත්කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොපමාව ගන්නා ලෙස ද නිළධාරීන්ට උපදෙස් දුන් අමාත්‍යවරයා පැවසුවේ වෙළඳුන් වෙනුවෙන් තමන් හැකි සෑම අවස්ථාවකම පෙනී සිටින බවයි. එහිදී අමාත්‍යවරයා කීවේ වෙළඳුන්ට මෙන්ම පාරිභෝගික ජනතාවටත් බරක් නොවන අයුරින් පෑලියගොඩ වෙළඳ සංකීර්ණය පවත්වාගෙන යා යුතු බවයි. එමෙන්ම ආයතනයට බරක් නොවන පරිදි පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා කෙටිකාලීන මධ්‍ය කාලීන හා දිගුකාලීන විසඳුම් සහිත නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසද උපදෙස් දුන්නේය.

    ඇමතිවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේ පෑලියගොඩ මැනිං වෙළද සංකීර්ණය නවීන තාක්ෂණය සහිත වෙළද සංකීර්ණයක් ලෙස දියුණු කළ යුතු බවයි. ඒ සදහා එම වෙළද සංකීර්ණය භාවිතා කරන වෙළදුන්ගේ පූර්ණ සහාය අවශ්‍ය වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

    කොළඹ නගරයේ පැවැති මැනිං වෙළඳ සංකීර්ණය හා මාළු වෙළඳ සංකීර්ණය පෑලියගොඩටගෙන යාමට තීරණය කෙරුවේ 2013 වසරේදීයි. කොළඹ නගරයේ අධික වාහන තදබදයට පිළියමක් ලෙස මෙම තීරණය ගැණින.

    ගුවන් තොටුපළ අධිවේගී මාර්ගය, වරාය අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, උතුරු අධිවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ග සමඟ පෑලියගොඩ හුවමාරුව සම්බන්ධ වන නිසා තොග බඩු ප්‍රවාහනය පහසුවෙන් රට පුරා සිදුකළ හැකිවීම ඊට බලපෑ අනෙක් ප්‍රධාන හේතුවයි.

    පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණය අක්කර 13.5 ක් පුරා විහිදෙන අංග සම්පූර්ණ තොග වෙළඳ සංකීර්ණයකි. මේ සඳහා වැය වු මුළු මුදල රුපියල් බිලියන 6.5 කි.මෙම වෙළඳ සංකීර්ණය වෙළඳසැල් 1,169 කින් සමන්විතවේ.

    මහල් හතරකින් සමන්විත පැලියගොඩ මැනිං වෙළද සංකීර්ණයේ 03 වෙනි මහල දක්වා පිහිටි සෑම වෙළඳසැලකටම එළවළු ප්‍රවාහන ලොරි ගෙන ඒමට හැකිවන සේ සකසා ඇත. එමෙන්ම සේවක විවේකාගාර, ආපනශාලා, අධිශීත ගබඩා පහසුකම්, රථවාහන 600 පමණ නවතා තැබිය හැකි රථගාලක් ඇතුළු පහසුකම් රාශියකින් සමන්විතවේ.

    මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න, පෑලියගොඩ මැනිං වෙළඳ සංගමයේ සභාපති එම්.එම්. උපසේන යන මහත්මවරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya