මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුමන ආර්ථික තත්ත්වයන් හමුවේ වුවද ඖෂධ හා ප්‍රතිකාර අඛණ්ඩව ලබා දෙනවා - සෞඛ්‍ය අමාත්‍යාංශය 

    සැප්තැම්බර් 14, 2022

    රට තුළ කුමන ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද රෝගීන්ට අවශ්‍ය ඖෂධ හා ප්‍රතිකාර අඛණ්ඩව ලබා දීමට මෙරට සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    රාජ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේදී ප්‍රමුඛ අවධානයක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබාදෙන බවත් ඒ තුළ අමාත්‍යංශයේ ඉහළ අවධානය මේ වන විට ඖෂධ හා වෛද්‍ය උපකරණ කෙරෙහි ලබාදී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පැවසීය.

    ඖෂධ සම්බන්ධයෙන් වන වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී (13) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කීය.

    2022 , 2023 වසරවල් සඳහා ද ප්‍රමාණවත් ප්‍රතිපාදන රජය මගින් සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කර ඇතැයිද අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී කීය.

    අනෙකුත් වකවානු වලට සාපේක්ෂකව ගෝලීය ව්‍යසනයෙන් පසු ප්‍රතිකාර සඳහා රෝහල් කරා පැමිණෙන රෝගීන්ගේ වැඩිවීමක්වීමක් පෙන්නුම් කරන බවත් මේ තුළ ඖෂධ හා වෛද්‍ය උපකරණ සඳහා වන ඉල්ලුම යම් ප්‍රමාණයක් වැඩිවී ඇති බවත් හෙතෙම පැවසීය .ඖෂධ හා උපකරණ ඉල්ලුම ඉහළ ගියද නිසි කළමනාකරණය ඔස්සේ අවශ්‍ය ප්‍රමුඛතා මෙන්ම ඖෂධ හා උපකරණ හඳුනාගනිමින් එහි සැපයුම් ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකරන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

    වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩී.ආර්.කේ. හේරත් මහතා අදහස් දක්වමින්,

    මෙරටට අවශ්‍ය ඖෂධවලින් 80 % ක් විවිධ රටවලින් ආනයනය කරන බවත් 20 % ක පමණ ප්‍රමාණය දේශීයව නිෂ්පාදනය කරන බවත් ඉදිරියේදී ඒ සඳහා ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාවට නැංවෙන බවත් පැවසීය. ගෝලීය ව්‍යසනය හා ආර්ථික ගැටලු ඔස්සේ ඇති වූ ඩොලර් අර්බුදය හේතුවෙන් ඖෂධ සැපයීම සඳහා යම් බාධාවන් ඇති වුවද එහෙත් ඒ තුළ ඖෂධ සැපයීම් ජාලය අඛණ්ඩව සිදුකරන බව වෛද්‍ය හේරත් මහතා මෙහිදී කීය. රට තුළ ඖෂධ නිෂ්පාදනය කිරීමේදී ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වාගැනීම කෙරෙහිද පසුගිය දිනවල යම් බාධාවක් ඇති වීම ඖෂධ සැපයීම කෙරෙහි බලපෑ අතර මේ වන විට එම තත්ත්වය මඟහරවා ගනිමින් සිටින බව හෙතෙම පෙන්වා දුන්නේය.

    රට තුළ ඖෂධ තත්ත්වය කළමනාකරණය කර ගැනීමේ දී එක් එක් රෝහල් අතර මෙන්ම ආයතන අතර ඖෂධ බෙදා ගැනීමේ ක්‍රමවේදයක් මෙන්ම දෛනික ව එම රෝහල් හා ආයතනයන්හි ඖෂධ තත්ත්වයන් අඩු වැඩි වීම පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාගැනෙන බවද වෛද්‍ය හේරත් මහතා පැවසීය. 1990 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඖෂධ පිළිබඳ තොරතුරු ලබා ගත හැකි බවත් ඒ සඳහා ජනතාවට අවශ්‍ය ඕනෑම තොරතුරක් හා පිළියමක් ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා කීය.

     

    රටට අවශ්‍ය ඖෂධ සැපයීම සඳහා ජාත්‍යන්තරික පරිත්‍යාග ලෙස මූල්‍ය පරිත්‍යාග, ඖෂධ හා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයන් විශාල වශයෙන් සිදුවන බවත් ඒවා නිසි කළමනාකාරිත්වයකින් අත්‍යවශ්‍ය මෙන්ම අදාළ ආයතනයන්ට ලබා ලබාදීමට පියවර ගැනෙන බවත් හෙතෙම කීය.

    සාමාන්‍ය ක්‍රමවේදයන්ට අමතරව විකල්ප හා විශේෂ ක්‍රම ඔස්සේ රෝගී අපහසුතා අවම කිරීමට ඖෂධ සැපයීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බවත්, එය 100 % ක් සාර්ථක නොවුවද ඉහළ සාර්ථකත්වයක් ළඟාකර ගැනීමට සෑම මොහොතකම උපරිම පියවර ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

    මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් මහතා.

    10,000 ට අධික ඖෂධ වර්ග හා වෛද්‍ය උපකරණ රටෙහි සෞඛ්‍ය පද්ධතිය තුළ තිබෙන බව ද ඒ තුළ යම් යම් ඖෂධ හා වෛද්‍ය උපකරණ අඩු වැඩි වශයෙන් හිඟ වන බව ද එය දෛනිකව විශ්ලේෂණය කිරීමේ දී දිනපතා වෙනස් වීම් වලට ලක්විය හැකි බවද පැවසීය .සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ වෛද්‍ය පරිපාලන නිලධාරීන්ගේ සිට පහළ සෞඛ්‍ය සේවකයන් දක්වා සියල්ලන්ගේම කැපවීම රට තුළ නිසි සෞඛ්‍ය සේවාවක් සඳහා ප්‍රමුඛ වන බවද ලොව අනිකුත් රටවලට සාපේක්ෂව මෙරට සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පවතින බවද ඒ මහතා කීය.

    මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා අදහස් දක්වමින්.

    පිළිකා රෝගීන් සඳහා වන අත්‍යවශ්‍ය ඖෂධ රැසක් පවතින බවත් ඒවා මිල අධික තත්වයකින් යුතු වන බවත් එවැනි තත්ත්වයන් හමුවේ වුවද අඛණ්ඩව රෝගීන්ට අවශ්‍ය ඖෂධ සැපයීමට මෙරට සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක වී ඇතැයි පැවසීය.අත්‍යවශ්‍ය ඖෂධ වල යම් අඩුවක් පැවතිය ද වත්මන් වැඩ පිළිවෙළ ඔස්සේ එම ඖෂධ සැපයීම සඳහා අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගැනෙන බවද හෙතෙම කීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා,

    පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ සැපයීමේදී පවතින ඉල්ලුම තුළ ඇතැම් ඖෂධ ඇතැම් දිනවල හිඟ වුවද ඊළඟ දිනවල දී එම ඖෂධ රෝහල් කරා ලැබේ. මේ සඳහා වෛද්‍ය සැපයීම් අංශයට ලැබෙන ඖෂධ වලට අමතරව පරිත්‍යාගශීලීන් හා අපේක්ෂා රෝහල සඳහා වන විශේෂ පරිත්‍යාගය ඒකකය හරහා ඖෂධ හා ආහාර ලැබීම මේ වන විටත් අඛණ්ඩව සිදු වෙමින් පවතී. විශේෂයෙන් අද වන විට පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ආහාර අවශ්‍ය ප්‍රමාණයට ලැබෙමින් පවතින බවත් ඒ මහතා පැවසීය.

    රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සන්තුෂ සේනාපති මහතා,

    දිවයින පුරා විවිධ ප්‍රදේශ වලින් දෛනිකව ප්‍රතිකාර සඳහා දරුවන් යොමු වන රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද/ස්නායු/වකුගඩු/ඇටමිදුලු බද්ධ කිරීම් ඇතුළු සැත්කම් හා ප්‍රතිකාර අතිශය සාර්ථක ලෙස කෙරෙන බව පැවසීය. ආර්ථික හා අනෙකුත් ව්‍යසන හමුවේ වුවද නිසි කළමනාකරණයකින් යුතුව රෝගී කටයුතු හා රෝගී ප්‍රතිකාර සේවා ගැටලුවකින් තොරව කරගෙන යාමට හැකිව ඇති බවද ඒ මහතා කීය.රෝහල් ඖෂධ කළමනාකරණ කමිටුව සතිපතා රැස්වී අවශ්‍ය ඖෂධ හා අනිකුත් උපකරණ හඳුනා ගනිමින් ඒවා ලබා ගැනීමට මෙන්ම කළමනාකරණය කර කරගැනීමට විවිධ වැඩපිළිවෙළවල් ගැනෙන බවත් මේ තුළ රෝගී දරුවන් කිසි ලෙසකින් අපහසුතාවයට පත් නොවන බවත් හෙතෙම කීය.

    මේ වන විට කුමන තත්ත්වයක් හමුවේ වුවද ළමා රෝහලේ සායනික,ශල්‍යකර්ම මෙන්ම බාහිර හා නේවාසික රෝගී ප්‍රතිකාර ලබා දීම අඛණ්ඩව පවත්වාගෙන යන බවත් වෛද්‍ය සන්තුෂ මහතා කීය.

     

    ළමා රෝගී ප්‍රතිකාර සඳහා 900 ට අධික ඖෂධ වර්ග ප්‍රමාණයක් අවශ්‍ය යැයිද ඉන් 90% ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් අංශයෙන් අඛණ්ඩව ගැටලුවකින් තොරව ලබා දෙන්නේ යැයිද පැවසීය. ඇතැම් ඖෂධ අවශ්‍යතා සපුරා ගැනීමේදී දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන් ළමා රෝහල කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන බවත් එය ඉදිරියටත් අපේක්ෂා කරන බවත් ඒ මහතා කීය. පවතින තත්වය තුළ රෝහලේ අනෙකුත් වියදම් අවම කර ගනිමින් ළමා රෝගී ප්‍රතිකාර සඳහා ප්‍රමුඛතම අවධානය යොමු කැර ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya