මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කෙරේ

    අගෝස්තු 28, 2022

    ඖෂධ ගෙන්වීම සඳහා මාස 9 - 11 ක් ගතවූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට මාස3-4 දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා යුනිසෙෆ් සංවිධානය හමුවේ පැවසීය.

    විනිවිදභාවය වඩාත් සුරක්ෂිත කරමින් රෝගීනට හිඟයකින් තොරව අඛණ්ඩව ඖෂධ ලබාදීම මෙහි ප්‍රමුඛ අරමුණ වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    යුනිසෙෆ් සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂ George Laryea Adjei මහතා හා එම සංවිධානයේ මෙරට නියෝජිත Christian Skoog මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී මේ බව කීය.

    මාස 6 - අවුරුදු 5 දක්වා ළදරුවන්ගේ වර්ධනයට අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂණ පදාර්ථ අඩංගු විටමින් හා ඛනිජ ලවණ ඖෂධ තොගයක් යුනිසෙෆ් සංවිධානය මගින් මෙහිදී මෙරටට පරිත්‍යාග කෙරිණි. ඇමරිකානු ඩොලර් 813, 200 ක් වටිනා මෙම ළදරු පෝෂ්‍ය පදාර්ථ ඇසුරුම් ලක්ෂ 4 කට අධික ප්‍රමාණයක් මෙම පරිත්‍යාග අතර වේ.


    රට තුළ පැවති ඖෂධ හිඟය මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ද ඉදිරි සති කිහිපය තුළ එහි වඩාත් සාර්ථක බවක් ඇති වනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය

    .
    ජීවිතාරක්ෂක ඖෂධ 14 ම මේ වන විට රට තුළ පවතින්නේ යැයිද එමෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ 384 න් හිඟව පවතින 100 ක පමණ ප්‍රමාණයද ඉතා කඩිනමින් ලබා ගැනීමට පියවර ගෙන ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙමින් පවතින බවද හෙතෙම පැවසීය.


    රෝගීනට අත්‍යවශ්‍ය ඖෂධ සම්බන්ධයෙන් වඩාත් ක්‍රමවත් වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාවට නැංවෙමින් පවතින බවත් මේ සඳහා සෞඛ්‍ය විශේෂඥ සංගම්හි අදහස් සතිපතා ලබා ගනිමින් පවතින බවත් ඒ මහතා පැවසීය. ඖෂධ අර්බුදය සමනය වුවද රට තුළ කිසිදු අවස්ථාවක ඖෂධ හිඟයක් ඇති නොවීමට ජාතික වැඩපිළිවෙළක් සේ මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට සැලසුම් කර ඇතැයි ද කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා;


    මම හිතනවා අපි මේ ගෙවන්නේ රටේ අසීරුම කාලයයි. කිසිම කෙනෙකු මෙවැනි අසීරු කාලයක් අත්විඳ නොමැති විය හැක. නමුත් අපේ මිත්‍ර රටවල් විවිධ සංවිධාන හා පරිත්‍යාගශීලීන්ගේ සහයෝගයන් නිසා අප මේ අර්බුදයෙන් ගොඩ එමින් පවතිනවා. කුමන අර්බුද තත්ත්වයන් හමුවේ වුවද දරුවන්ගේ පෝෂණ තත්ත්වයන් ගැන ද අප වඩාත් සැලකිල්ලක් දක්වනු ලබනවා.

    එමෙන්ම විශේෂයෙන් ගර්භණී මව්වරුන්ගේ හා ළදරුවන්ගේ පෝෂණය වෙනුවෙන් වඩ වඩාත් සැලකිලිමත්ව කටයුතු කරනු ලබනවා. ඉන්ධන ගැටලුව හමුවේ වුවද රට පුරා සෑම වසමකම පවුල් සෞඛ්‍ය සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සේවාවන් ඒ සඳහා අඛණ්ඩව ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
    පෝෂණ වැඩසටහන යටතේ අපේ රටේ බොහෝ කලක සිට සිදුකෙරෙන ත්‍රිපෝෂ ලබාදීම ඒ සඳහා වන බීජ ගැටලුව හේතුවෙන් යම් අඩාල වීමක් තිබුණද මේ වන විට එය යථා තත්ත්වයට පත්වෙමින් පවතිනවා.
    දකුණු ආසියානු කලාපයේ රටවල සෞඛ්‍ය සේවාව අතරෙන් මෙරට සෞඛ්‍ය සේවාව ඉහළ ස්ථානයක පවතිනවා. ආහාර සුරක්ෂිතතාවය යන සංකල්පය ක්‍රියාත්මක කිරීම තුළින් ළදරු සෞඛ්‍යය කෙරෙහි දැඩි අවධානයක් යොමු වෙනවා. ගර්භණී මාතාවන්ගේ හා බිළිදුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිත කිරීම අනාගත පරපුර වෙනුවෙන් සිදු කරනු ලබන ආයෝජනයකි. විශේෂයෙන් මෙරට ග්‍රාමීය ප්‍රදේශවල දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාවගේ පෝෂණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරනු ලබනවා.ඒ සඳහා අවශ්‍ය සැලසුම් රැසක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.


    මෙහිදී අදහස් දැක්වූ යුනිසෙෆ් සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂ George Laryea Adjei මහතා....


    ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදයන්ගෙන් ගොඩ ඒ්ම සඳහා දරන උත්සාහය අගය කරන බවද විශේෂයෙන් කොවිඩ් වසංගතය මෙන්ම ඖෂධ අර්බුදයන් හමුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා හා නිලධාරීන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රසාදය පළ කරන බවද පැවසීය.


    කොවිඩ් ව්‍යසනය මෙන්ම ඒ් හරහා ඇති වූ ආර්ථික අර්බුදය සමස්ත ලෝකයටම බලපෑම් එල්ල කෙරුණු බවත් එය එක් රටකට දෙකකට සීමා වූවක් නො වූ බවත් ඒ මහතා පැවැසීය. ආර්ථික අර්බුදයන්ගෙන් පසුව ආහාර අර්බුදයක් ඇතිවන බව ද ඒ හරහා පෝෂණ ඌණතාව ඇති වීම සිදුවිය හැකි යැයි ද මේ වෙනුවෙන් යුනිසෙෆ් සංවිධානය වඩාත් අවධානයකින් මැදිහත්ව ක්‍රියාත්මක වන බව ද එම සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂ George Laryea Adjei මහතා මහතා පැවසීය.


    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන සම්බන්ධිකාරක (කොවිඩ් සහ ඖෂධ ප්‍රදාන කටයුතු හා වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ) වෛද්‍ය අන්වර් හම්දානි මහතා ඇතුළු යුනිසෙෆ් සංවිධානයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
    .

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya