මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යූරියා පොහොර හිඟයකින් තොරව කන්නය ආරම්භයේදී ම- කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර

    අගෝස්තු 24, 2022

    මෙවර යල කන්නයේ මෙන්ම ලබන මාස් කන්නයේදී ගොවියාට අවශ්‍ය යූරියා පොහොර හිඟයකින් තොරව කන්නය ආරම්භයේදීම ගොවි ජනතාවට ලබා දීමට රජය සියලුම කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ඉන්දීය රජයේ ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 න් දෙවන තොගය (22) දින පෙරවරුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අශෝක් භග්ලේ මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට නිල වශයෙන් භාර දෙනු ලැබීය.

    මෙට්‍රික් ටොන් 21,000 කින් සමන්විත එම පොහොර තොගය ලංකා පොහොර සමාගමට සහ කොමර්ශල් පොහොර සමාගමට යැවීමේ කටයුතු ද ආරම්භ විය.

    (22) වන දින පෙරවරුවේ කොළඹ වරායේදී මෙම යූරියා පොහොර භාර දීම සිදු කෙරුණු අතර එම අවස්ථාවට වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුලු පිරිසක් ද සහභාගී වූහ.

    ඉන්දීය රජය විසින් යල කන්නයේ වී වගාව සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 ක් ලබා දීමට පියවර ගැනිණි. ඉන් පළමු තොගය වශයෙන් මෙට්‍රික් ටොන් 44,000 ක් පසුගිය මාසයේ ලැබුණු අතර දෙවන තොගය මේ වන විට ලැබී තිබේ.යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර වලින් 98% ක් මේ වනවිට ගොවීන් වෙත බෙදා දී තිබේ. ඉතිරි 2% ඉදිරි කාලය තුළ බෙදා හැරීමට කටයුතු යොදා ඇති අතර, යල කන්නය සඳහා අවශ්‍ය සම්පූර්ණ යූරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 31,000 ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ. ඒ අනුව තවත් යූරියා මෙට්‍රික් ටොන් 35, 000 ක් ඉතිරි වන අතර ඒවා ලබන මහ කන්නය ආරම්භයේදීම ගොවීන් වෙත බෙදා දීමට සැලසුම් කර ඇත.

    මෙහිදී මාධ්‍යට අදහස් පළ කළ අමාත්‍යවරයා යල කන්නයේ වී වගා කළ ගොවීන්ට යූරියා පොහොර ලබා දීමේ දී කිසියම් ප්‍රමාදයක් සිදු වූවත් මෙ වන විට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණය බෙදාහැර ඇති බව සඳහන් කළේය. ඉන්දීය රජය විසින් ලබා දුන් පොහොර සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විවිධ චෝදනා ඉදිරිපත් කළේය. සමහරු යූරියා පොහොර තත්ත්වයෙන් බාල බවත්, විස සහිත බවත් ප්‍රකාශ කර තිබුණි. නමුත් මෙම යූරියා පොහොර තත්ත්වයෙන් ඉතාම උසස් බව ගොවි ජනතාවම දැන් ප්‍රකාශ කරති.

    මෙහිදී මාධ්‍යවේදීන් මාස් කන්නයේ පොහොර ලබා දීමේදී අදාළ මිළදීගැනීම් විනිවිදභාවයකින් යුක්තව සිදු කරන්නේද යන්න අමාත්‍යවරයාගෙන් විමසීමක් කළේය.

    ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා - "ලබන මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මිළදී ගැනීම සඳහා ලෝක බැංකුවේ සහය පළ වී තිබෙනවා. යූරියා පොහොර මිළදී ගැනීමට ටෙන්ඩර් කැඳවීමේදී ඊට ලෝක බැංකුවේ නිර්දේශ ලැබෙනවා. එමනිසා ලබන මාස් කන්නයේ ලබාදෙන පොහොර වලින් රුපියලක් හෝ වංචා කිරීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. සියලු මිළදීගැනීම් විනිවිදභාවයකින් යුක්තව සිදු කිරීමට කටයුතු කරනවා. ඒවගේම මනා විගණනයක් සිදු කරනවා. ඒ නිසා ඉදිරියේදී පොහොර ගණුදෙනු වලින් කාටවත් වංචා කිරීමට ඉඩක් ලැබෙන්නේ නැහැ" යිද පැවසීය.

    මෙහිදී අදහස් පළකළ ඉන්දීය මහකොමසාරිස්වරයා -" ශ්‍රී ලංකාවට අසල්වැසි හිතවතා වශයෙන් ලබා දිය හැකි සියලු සහයෝගය ලබාදෙනවා. මෙම යූරියා පොහොර ලබා දීමට හැකිවීම ගැන සැබෑවටම අපිට සතුටක් තියෙනවා. ඉන්දීය රජය හා ජනතාව සෑමවිටම ශ්‍රී ලංකා රජය සමග කටයුතු කරනවා" යි ද පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya