අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි කිරීමේ ස්වෙච්ඡා වැඩපිළිවෙලක්

    ජූලි 22, 2022

     ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි කිරීමේ ස්වෙච්ඡා වැඩපිළිවෙලක්

    ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි කිරීමේ කටයුතු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ පවතින ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය සහ යෞවන සමාජ සම්මේලනයේ තරුණ තරුණියන්ගේ ස්වේච්ඡා සහභාගීත්වයෙන් දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක වන බවත් ජූලි මස 25වැනි දින සිට QR කේතය භාවිතයෙන් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බවත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා පවසයි.

     

    අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    එහි නියමු ව්‍යාපෘතියක් ඊයේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කර තිබෙන බවද මෙම සාකච්ඡාවේදී ඒ මහතා කියා සිටියේය.

    මෙම තරුණ තරුණීයන් ගම් මට්ටමෙන් ගෙයින් ගෙට ගොස් ලියාපදිංචි කිරීමේ අපහසු පුද්ගලයන්ට නොමිලේ මෙම QR කේතය ලබා ගැනීමට සහය වන බවත් සුහුරු ජංගම දුරකතන නොමැති පුද්ගලයන්ට එම කේතය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා දීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.

    ඉන්ධන අර්බුදය හේතුවෙන් රටේ දිගු පෝළිම් නිර්මාණය වීම මෙන්ම කළු කඩ නිර්මාණය වීම සිදුවූ බව පෙන්වා දෙන ඒ මහතා මෙම යෙදවුම ඔස්සේ අක්‍රමිකතා සිදු කිරීමට නොහැති බවත් මින් පෙර ඉන්ධන පෝළිම් නැති කිරීමට ලබා දුන් විසඳුම් කිසිවක් සාර්ථක නොවූ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

    මෙම කේතය දත්ත පද්ධතියක් බව පැවසූ ඒ මහතා වාහනවලට ඉන්ධන නිකුත් කරන ප්‍රමාණය සහ නැවත ලබා ගත හැකි ප්‍රමාණය මෙන්ම දත්ත රැසක් අන්තර්ගත බව පැවසීය.එසේම වාහනවල අවසාන අංකයට අනුව ඉන්ධන ලබා දීම සිදු කරන්නේද මෙම කේතයට අනුව බව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    දිවයිනේ ඕනෑම පිරවුම්හලකින් මෙම කේතය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන්ධන ලබා ගත හැකි බවත් ඒ හේතුවෙන් ඉන්ධන පෝළිම් ඉදිරියේදී අවම වනු ඇති බවත් ලේකම්වරයා පැවසීය.

    QR කේතය යම් අවස්ථාවක බිඳ වැටීමකට ලක්වුවහොත් පෙර පරිදි වාහනයේ අවසන් අංකයට ඉන්ධන නිකුත් කෙරෙන බවත් හෙතෙම කියා සිටී.
    ඊයේ (21)දින පුද්ගලයන් 36000ක් ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි කර ඇති බව මෙම සාකච්ඡාවට සහභාගී වෙමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් රවීන්ද්‍ර වික්‍රමසිංහ මහතා පැවසීය.

    දිවයිනේ දැවැන්තම තරුණ ජාලය ලෙස ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන් මේ සඳහා විශාල වශයෙන් දායකත්වය ලබා දෙන බවද ඒ මහතා පැවසීය.මධ්‍යස්ථාන තුළදී මෙන්ම ජංගම සේවාවන් ඔස්සේ මෙම ලියාපදිංචි කටයුතු සඳහා ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන් දායක වන බවද හෙතෙම පෙන්වා දෙයි.

    දිවයන පුරා මධ්‍යස්ථාන 60ක කැඩෙට් පුහුණුව හදාරණ තරුණ තරුණියන් 5000ක් සහ ඔවුන් පුහුණු කරන නිලධාරීන් 900ක් ද මෙම ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා සිය දායකත්වය ලබා දෙන බව ජාතික යොවුන් සේනාංකයේ සභාපති , අධ්‍යක්ෂ ජනරාල් දර්ශන රත්නායක මහතා මෙම සාකච්ඡාවට සහභාගී වෙමින් පැවසීය.ඉන්ධන පිරවුම් හල් අසල , දුම්රිය ස්ථාන, බස් නැවතුම්පොළ මෙන්ම පොදු ස්ථානවල මෙම පිරිස් ස්ථානගතව ඇති අතර ඔවුන් මෙම ලියාපදිංචි කිරීමේ කටයුතු සාර්ථකව සිදු කෙරෙමින් පවතින බවත් ඒ මහතා පැවසීය.

    එසේම සිය මධ්‍යස්ථාන තුළ මෙන්ම ගෙයින් ගෙට යමින් මෙම ලියාපදිංචි කටයුතු සිදු කෙරෙන බවත් ඒ මහතා කියා සිටී.එසේම ඉන්ධන පිරවුම්හල්වල රැඳී සිටින පිරිස් එම ඉන්ධන පිරවුම්හලට අදාල තාක්ෂණ කටයුතුවලටද සහය දක්වන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට යෞවන සමාජ සම්මේලනයේ ලේකම් තරිඳු නවීන් මහතා සහ යොවුන් පාර්ලිමේන්තුවේ ප්‍රවාහන අමාත්‍ය ඉෂාන් ප්‍රියරංග මහතා සහභාගී විය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya