අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන සමාගම් දකුණු අප්‍රිකාවේ 2022 SAITEX වෙළඳ ප්‍රදර්ශනයට

    ජූලි 07, 2022

    2022 ජූනි 19 සිට 21යන දිනවල දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි ගැලගර් සම්මේලන මධ්‍යස්ථානයේ පැවති දකුණු අප්‍රිකානු බහු ආංශික වෙළඳ ප්‍රදර්ශනය (SAITEX) සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගම් දෙකක් සහභාගී විය.

    SAITEX ප්‍රදර්ශනය පසුගිය වසර 27 මුළුල්ලේ දේශීය හා ජාත්‍යන්තර ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට අප්‍රිකානු කලාපය තුළ අභ්‍යන්තර සහ බාහිර වෙළඳ අවස්ථාවලින් ප්‍රයෝජන ලබාගැනීමට අවස්ථා සලසා ඇත. තවද එය ජාත්‍යන්තර සහ දේශීය වෙළඳ සබඳතා සඳහා පහසුකම් සපයන අතර, පුද්ගලික අංශයට අප්‍රිකාව උදෙසා පිරිනැමීමට ඇති නවෝත්පාදන නිපැයුම්, විසඳුම් සහ සේවා ප්‍රදර්ශනය කිරීම සඳහා වේදිකාවක් සපයයි. මෙම වසරේ පැවති SAITEX ප්‍රදර්ශනය සඳහා රටවල් 25ක ප්‍රදර්ශකයන් 150 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වූ අතර ආනයනකරුවන්, තොග වෙළෙන්දන්, සිල්ලර වෙළෙන්දන් නිෂ්පාදකයන්, බෙදාහරින්නන්, නියෝජිතයන්, රාජ්‍ය ආයතන සහ ව්‍යවසායකයන් නියෝජනය කළ 4900ක පිරිසක් ද ඊට සහභාගී විය. දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය SAITEX ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා ශ්‍රී ලාංකික සමාගම්වලට පහසුකම් සැලසීය.

     

    සිලෝන් බිස්කට්ස් සමාගම (CBL) විසින් බිස්කට් සහ ක්‍රැකර්ස්, චොක්ලට්, පොල් නිෂ්පාදන, සෝයා නිෂ්පාදන, කාබනික පලතුරු සහ කුළුබඩු, පෝෂණීය ආහාර සහ ධාන්‍ය වර්ග ඇතුළු පුළුල් පරාසයක රසකැවිලි නිෂ්පාදන රැසක් ප්‍රවර්ධනය කරන ලදි. CBL සමාගමේ සන්නාම වන මන්චී, රිට්ස්බරි, රොවෙල්ලෝ, සේරා, සමපෝෂ සහ ලංකාසෝයි යන සන්නාම මීට ඇතුළත් විය. CBL සමාගම මේ වන විට දකුණු අප්‍රිකාව, ඝානාව සහ ඇන්ගෝලාව ඇතුළු රටවල් 60කට සිය නිෂ්පාදන අපනයනය කරයි. තවද මෙම සමාගම මේ වන විට සිය නිෂ්පාදන දකුණු අප්‍රිකාව, සැම්බියාව, සිම්බාබ්වේ, මලාවි සහ නැගෙනහිර අප්‍රිකාවේ මොසැම්බික් දක්වා ව්‍යාප්ත කිරීම පිළිබඳව ගවේෂණය කරමින් සිටියි.

     

    සිල්ක් ෆුඩ්ස් සිලෝන් (පුද්ගලික) සමාගම සිය අති නවීන නිර්මාංශ නිෂ්පාදන, ස්වභාවික පෝෂක ද්‍රව්‍යවලින් සකස් කළ තිරසාර නිෂ්පාදන, කුළුබඩු, තේ සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රදර්ශනය කළේය. නරඹන්නන් රැසකගේ ආකර්ෂණයට පාත්‍ර වූ නව නිෂ්පාදන වූයේ සිලෝන් ටී කොම්බුචා (පොල් සීනි එකතු කොට තේ සහ යීස්ට් යොදා සැකසූ පානයක්), නිර්මාංශ බර්ගර් පැටිස්, කිරි රහිත යෝගට්, ශාක පදනම් වූ චීස්, සහ ඕට් සහ සහල් කිරි යනාදිය යි. නිර්මාංශ ආහාර වෙළඳපොළ දකුණු අප්‍රිකාව තුළ තරමක් දුරට ව්‍යාප්ත වී ඇත. එනමුදු, ඉදිරි වසර 10 -15 දක්වා කාලය තුළ වෙළඳපොළ තුළ සැලකිය යුතු ස්ථානයක් අත්පත් කර ගැනීමේ පුළුල් ශක්‍යතාවක් එය සතුව පවතී.

     

    මහ කොමසාරිස් මහාචාර්ය ගාමිණී ගුණවර්ධන මැතිතුමා මෙම සමාගම්වල නිලධාරීන් සඳහා පවත්වන ලද උත්සවයකදී, මෙම සමාගම් දෙකම වෙළඳ ප්‍රදර්ශනය තුළින් ලබාගත් සාර්ථකත්වය පිළිබඳව වාර්තා කළ අතර, විශේෂයෙන්ම අප්‍රිකානු රටවල් හයක් සහ එක් ලතින් ඇමරිකානු රටක් තම සමාගම වෙත වෙළඳ විමසීම් සහ යෝජනා යොමු කළ බව CBL ආයතනය සඳහන් කළේය. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන විදේශ විනිමය ඉපැයීම සඳහා තම නිෂ්පාදන ව්‍යාප්ත කරමින්, තම වියදමින් දරන්නා වූමෙම උත්සාහය සහ ව්‍යවසායකත්වය වෙනුවෙන්මහ කොමසාරිස්වරයා මෙම සමාගම් දෙක වෙත ශ්‍රී ලංකාවේ ප්‍රශංසාව පිරිනැමී ය.

     

     

    ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

    ප්‍රිටෝරියා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya