මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමීප මිතුරෙකු ලෙස අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට සහාය වනවා - ඉන්දීය විදේශ ලේකම්

    ජූනි 25, 2022

    සමීප මිතුරෙකු ලෙස උද්ගතව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහාය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) මහතා පවසයි.

     

    ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර දීම සම්බන්ධයෙන් සලකා බැලීමට (23) පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය විශේෂ දූත පිරිස කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග සාකච්ඡාවට එක්වූ අවස්ථාවේ මේ බව සඳහන් කෙරිණ.

    ඉන්දීය ණය ආධාර යටතේ මේ වන විටත් ශ්‍රී ලංකාවට ඉන්ධන, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලැබී තිබේ. ඒ පිළිබඳ සමාලෝචනය කළ දූත පිරිස ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දීමට ඉන්දීය රජයත් දේශපාලන අධිකාරියත් කැපවී සිටින බව පැවසූහ.

    අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වෙමින් ඉන්දීය රජය සුවිශේෂි කාර්යභාරයක් ඉටු කරයි. ඒ වෙනුවෙන් මෙරට ජනතාවගේත් රජයේත් ප්‍රශංසාව සහ ස්තූතිය ඉන්දීය රජයටත් ජනතාවටත් පිරිනමන බව ජනාධිපතිතුමා දූත පිරිසට කියා සිටියේය.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දීය ආධාර වැඩපිළිවෙළෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ. දුෂ්කර කාලපරිච්ඡේදය පසු කර ඉතා ඉක්මණින් රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද දූත පිරිස විශ්වාසය පළ කළහ.

    ඉන්දීය ආර්ථික සබඳතා පිළිබඳ ලේකම් අජේ සෙත් (Ajay Seth), ප්‍රධාන ආර්ථික උපදේශක ආචාර්ය වී අනන්ත නාගේෂ්වරන් (V Anantha Nageswaran), ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay), නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජෙකබ් (Vinod K Jacob), ඉන්දීය සාගරික කලාප (IOR) ඒකාබද්ධ ලේකම් කාර්තික් පාන්ඩේ (Kartik Pande) සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya