මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවතින ඉන්ධන තොග සැලසුම් සහගතව බෙදාහරින්න - ජනපතිගෙන් උපදෙස්.  

    ජූනි 17, 2022

    Ø මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව එක්ව ඉන්ධන ලබාගැනීමට සැලැස්මක් ...

    Ø සැපයුම්කරුවන් සමග දීර්ඝකාලීනව ගිවිසුම්ගත වීම කෙරෙහි අවධානය ...

     දැනට ලැබී ඇති සහ ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා ඉන්ධන හල් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.

    මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව එක්ව රාජ්‍ය සහ පෞද්ගලික බැංකු දායක කරගෙන ප්‍රමාණවත් ඉන්ධන තොග ඇණවුම් කිරීමට පහසුකම් සපයමින් ණයවර ලිපි නිකුත් කිරීම සඳහා සැලසුම් සකස් කළ යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    පෙට්‍රල්, ඩීසල්, ගෑස් බෙදාහැරීම සහ ආනයනය සම්බන්ධයෙන් අද (17) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    සැපයුම්කරුවන් සමග දීර්ඝකාලීනව ඉන්ධන ලබාගැනීම සඳහා ගිවිසුම්ගත වීමට ඇති හැකියාව කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ.

    ඉන්ධන බෙදාහැරීමේ දී පොදු ප්‍රවාහනය සඳහා ප්‍රමුඛතාව හිමි වේ. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පිරවුම් හල් යොදාගනිමින් පෞද්ගලික හා සංචාරක බස්රථ සහ පාසල් වෑන් රථවලට පොලිසියේ අධීක්ෂණය යටතේ ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

    අනිකුත් අත්‍යාවශ්‍ය සේවා සඳහා හඳුනාගත් ඉන්ධන පිරවුම් හල් වෙතින් ඉන්ධන අඛණ්ඩව නිකුත් කිරීමටත් පිරවුම් හල් වෙත යුද හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සැපයීමටත් තීරණය කෙරිණ. අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ආරක්ෂක අංශවලට නියෝග කරනු ලැබීය.

    පවතින ගෑස් තොග ක්‍රමානුකූලව බෙදාහැරීමටත් ප්‍රමාණවත් ගෑස් තොග කඩිනමින් ඇණවුම් කිරීම පිළිබඳවත් සාකච්ඡාවට ලක් විය.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන, මහජන ආරක්ෂක ලේකම් එස්. හෙට්ටිආරච්චි, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු, ආරක්ෂක, ඉන්ධන, විදුලිබල සහ ගෑස් පිළිබඳ ආයතනවල ප්‍රධානිහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya