මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කම්කරු ගැටලු කඩිනමින් විසඳීමට නව පනතක්

    ජූනි 17, 2022

    2022 අප්‍රේල් මස 08 වන දින ගැසට් පත්‍රයේ පළ කරන ලද කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පසුගියදා (10) අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කම්කරු හා විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානයට යොමු විණි.

    වර්තමානයේදී, කාර්මික ආරවුල් පනතට අනුව සේවකයන්ගේ සේවය අවසන් වූ අවස්ථාවන්හි, ඒ ක්‍රියාවලිය අවසන් කිරීම පිළිබඳ නඩු කටයුතු පමණක් කම්කරු විනිශ්චය අධිකාරියක් යටතේ සිදු කෙරෙයි. සේවා නියුක්ත සේවකයන්ගේ සේවක අර්ථ සාධක අරමුදල, වැටුප්, වෙනත් සේවා කොන්දේසි හා තත්ත්වයන් පිළිබඳව වූ විවිධාකාර පනත්වල ඇති ප්‍රතිපාදනයන්ට හාම්පුතුන් එකඟ නොවන හෝ එම රෙගුලාසීන් කඩකරන අවස්ථාවකදී, නඩු පැවරීම මහේස්ත්‍රාත් අධිකරණයන් තුළ දී සිදු කරනු ලැබේ.

    මෙහිදී මතුවන ප්‍රධානතම ගැටලුව වන්නේ, දිවයින පුරා ක්‍රියාත්මක වන මහේස්ත්‍රාත් අධිකරණ 80 ක පමණ නඩුකරයන් 16000කට අධික ප්‍රමාණයක් පවරනු ලැබ තිබීමයි. මෙම නිසා අගතියට පත් සේවකයින්ට යම් සාධාරණයක් ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගතවන බව ද, දැනට ඉතා සුළු ප්‍රමාණයක නඩු කටයුතු සිදුකරන, දිවයින පුරා ස්ථාපිත කම්කරු විනිශ්චය සභා 37 ක් වෙත මෙම නඩු කටයුතු පවරන්නේ නම්, අගතියට පත්වන පාර්ශවයට සධාරණයක් ඉටු කිරීම කඩිනම් කළ හැකි බව ද මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ විය.

    එහෙයින්, මෙම පනත මඟින් එම නඩු කටයුතු කරගෙන යෑමේ බලතල කම්කරු විනිශ්චය සභාවල සභාපතිවරුන්ට පැවැරීම සිදුවන බව අවධාරණය කෙරිණි. මීට පෙරද මෙලෙස කම්කරු විනිශ්චය සභාවන්ට පෙර කී බලය පැවරී තිබුණු අතර එමඟින් බොහෝ නඩු කටයුතු කඩිනමින් විසඳා ගත හැකි වූ බව ද, පසුව එම බලතල අහෝසි කෙරුණු බවද තවදුරටත් ප්‍රකාශ විණි. තවද, අනාගතයේදී සුවිශේෂී ආර්ථික තත්ත්වයන් මත යම් හෙයකින් කර්මාන්ත ශාලා වැසීයාමක් සිදු වුවහොත් සේව්‍යයා හා සේවකයා යන දෙපාර්ශවයම ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව කම්කරු සමිති සමඟ සාකච්ඡා කිරීමට විෂය භාර අමාත්‍යවරයා විසින් පියවර ගන්නා බව මෙහිදී ප්‍රකාශ කළේය.

    පනත් කෙටුම්පත සඳහා අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය ලැබුණු අතර එය මීලඟ පාර්ලිමේන්තු සතියේදී විවාදයට ගැනෙන බව ද මෙහිදී අවධාරණය කෙරිණි. ඉන් අනතුරුව, වර්තමානයේ විශාල අවධානයක් යොමු වී තිබෙන විදේශ රැකියා සඳහා විශේෂ පුහුණු වැඩසටහන් දිවයින පුරා පවත්වනු ලැබූවද, යාපනය දිස්ත්‍රික්කය තුළ එවැනි වැඩසටහන් ක්‍රියාත්මක නොවන බව ද උපදේශක කාරක සභාවේදී සඳහන් කෙරිණි. එහෙයින්, භාෂා පුහුණු වැඩසටහන් යාපනය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස විෂය භාර අමාත්‍යවරයා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් දෙන ලදී.

    විෂය භාර අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ විශේෂ ආරාධනයක් මත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද, මෙම උපදේශක කාරක සභාවට සහභාගී වූ අතර, නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් සහ ගරු ජගත් පුෂ්පකුමාර මහතා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සක්‍රීය දායකත්වයද මේ සඳහා ලැබිණි.මීට අමතරව කම්කරු අමාත්‍යාංශයේ සහ තවත් රාජ්‍ය ආයතන රැසක නිලධාරීහු පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya