මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියාමනය අවමකර කර්මාන්තකරුවන්ට පහසුකම් සපයනවා- කර්මාන්ත අමාත්‍ය

    ජූනි 09, 2022

    කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන අධිකාරීවල නියාමන කටයුතු අවම කර කර්මාන්තකරුවන්ට වඩා වැඩි පහසුකම් සැලසීම රජයේ අපේක්ෂාව බව කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අබලි ලෝහ කර්මාන්තකරුවන් වෙනුවෙන් නිර්මාණය කළ metals.lk වෙබ් අඩවිය දියත්කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. කර්මාන්ත අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) එක්ව පවත්වාගෙන යන මෙම metals.lk වෙබ් අඩවිය  (2022-06-08) කර්මාන්ත අමාත්‍යාංශයේදී එළිදැක්විණි.


    ලංකාව පුරා සිටින අබලි ලෝහ කර්මාන්තකරුවන්ට ඇලුමීනියම්, තඹ, පිත්තල වැනි ලෝහ මිලදී ගැනීමටත් තමන් ළඟ ඇති අබලි ලෝහ තොග අළෙවි කර ගැනීමත් මෙම වෙබ් අඩවිය හරහා අවස්ථාව හිමිවේ. 2020 වසරේ සිට අබලි ලෝහ අපනයනය තහනම් කර ඇති අතර ශ්‍රී ලංකාවේ අබලි ලෝහ විකිණිමේ අධිකාරිය කාර්මික සංවර්ධන මණ්ඩලය සතුව පවතී. මෙම වෙබ් අඩවිය මඟින් අබලි ලෝහ විකිණිමේ හා මිලදී ගැනීමේ ක්‍රියාවලිය පහසුවෙන් හා වඩාත් විනිවිදභාවයකින් යුක්තව සිදුකිරීමේ අවස්ථාව හිමිවන අතර Swiss Tech Aluminum ආයතනය කර්මාන්ත අමාත්‍යාංශය වෙනුවෙන් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත. මෙම අවස්ථාවට සමගාමීව කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයක් වන Theekshana R & D ආයතනය සමඟ එක්ව කර්මාන්ත අමාත්‍යාංශයේ වෙබ් අඩවිය යාවත්කාලීන කර නැවත එළිදැක්වීමද සිදුකරන ලදී. කර්මාන්ත අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තුළින් ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින කර්මාන්තකරුවන්ට වඩාත් එලදායි ලෙස කර්මාන්ත අමාත්‍යාංශය සමඟ සම්භන්ධවීමේ අවස්ථාව හිමිවී තිබීම විශේෂත්වයකි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා,


    “ වර්තමානයේ අප රට පවතින තත්වය දෙස බැලීමේදී කර්මාන්ත අංශය ඉහළට ඔසවා තැබීමේ සාමුහික වගකීමක් තිබෙනවා. අනිකුත් ක්ෂේත්‍ර සමඟ සංසන්දනය කරන විට කර්මාන්ත අංශයෙන් ලැබෙන අපනයන ආදායම පිළිබඳව සෑහීමකට පත්විය නොහැකියි. ඉතාමත් ඉක්මනින්ම කර්මාන්ත ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදුකර ඉදිරියට ගෙන ආ යුතුයි. ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග කිහිපයක් මේ වන විට හදුනාගෙන සිටිනවා. විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළින් ව්‍යවසායකත්වය පිළිබඳ ප්‍රමාණවත් වෘත්තියාභිමුඛ අධ්‍යාපනයක්, දැනුමක් අපේ තරුණ ප්‍රජාවට ලබා දෙන්නේ නැහැ. මෙය නව ව්‍යවසායකයන් බිහි වීමට ප්‍රධාන බාධාවක් වෙලා තියෙනවා. අපගේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළින් ව්‍යවසායකත්වය පිළිබඳ අධ්‍යාපනයක් නව පරපුරට ලබා දිය යුතු වෙනවා. ඒ තුළින් විශාල වෙනසක් කර්මාන්ත අංශය තුළ සිදුකළ හැකියි.

    එසේම රාජ්‍ය අධිකාරී වල සිදුකරන නියාමන කටයුතු ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට අහිතකර ලෙස බලපා ඇති බව ඉතා පැහැදිලියි. වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම නියාමන කටයුතු අවම කර නිදහස් අවකාශයක් යටතේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් හා සුදුසු ව්‍යාපාරික පරිසරයක් සකස් කිරීමට කටයුතු කළ යුතුයි. ඇඟළුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායමට අමතරව සාම්ප්‍රදායික වැවිලි අපනයනයෙන් තමයි අපේ රටට වැඩිම අපනයන ආදායමක් ලැබෙන්නේ. ඒ තත්වය අභිබවා යන්නට කාර්මික හා කර්මාන්ත අංශයේ අපනයන ආර්ථිකය වඩාත් ශක්තිමත් කළ යුතු වෙනවා. ඒ සඳහා රජයක් ලෙස අපි උපරිමව කටයුතු කරනවා. මේ දුෂ්කර මොහොතේ සියළු රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම සියඵ පුරවැසියන්ගේ සහය ඒ සඳහා බලාපොරොත්තු වෙනවා ” යැයි පැවසීය.

    මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක, අතිරේක ලේකම් චමින්ද පතිරාජ, අතිරේක ලේකම්වරු, අමාත්‍යාංශ නිලධාරීන්, Swiss Tech Aluminum හා Theekshana R & D ආයතනවල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya