මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු රැකියා ප්‍රශ්ණයට තිත- 119ක් කොරියාවට - මාස හයක් ඇතුළත 5800ක්

    ජූනි 09, 2022

    විදේශගත ශ්‍රමිකයින් බැංකු හරහා ගෙවල්වලට මුදල් එව්වොත් ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, බෙහෙත් හිගයට විසදුම් දෙන්න පුලුවන්…

    විදේශගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොලේදී වැඩි පිළිගැනීමක් ලබාදෙන ක්‍රමවේදයක් සකස් කරනවා

    විදේශගත ශ්‍රමිකයින් නිවරදිව බැංකු ක්‍රමය හරහා තමන් උපයන මුදල් ලංකාවට එවිමට කටයුතු කරන්නේ නම් දැනට පවතින තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැති කර බෙහෙත් හිගය නැති කළ හැකි බවද කොරියානු රැකියා සදහා පිටත්වයාමේ අපේක්ෂාවෙන් පසුවන 5800ක් ඉදිරි මාස හය තුළ කොරියාව බලා පිටත් කර ඔවුන්ගේ පීඩනය නැති කරන බවද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

    කොරියානු රැකියා සදහා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් සිටි 5800කට ආසන්න පිරිසක් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ කොරියාවට පිටත්ව යාමට නොහැකිව පීඩාවට පත්ව සිටි අතර ඔවුන් කඩිනමින් රැකියා සදහා පිටත් කර යැවීමට කටයුතු කරන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා උපදෙස් ලබාදුන්නේය. ඒ අනුව කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂවරයා සමගද ඇමැතිවරයා සාකච්ඡා කළේය. ඒ අනුව ඉදිරි මාස හයක කාලයක් තුළදී කොරියානු රැකියා සදහා පිටත්ව යාමේ අපෙක්ෂාවෙන් පසුව 5800 දෙනාම කොරියාවට පිටත් කර යැවීමට නියමිතය

    එහි පළමු කණ්ඩායම ලෙස 119 දෙනෙකුගෙත් යුත් කණ්ඩායමක් අගහරුවාදා (07) රාත්‍රියේදී කොරියාව බලා පිටත්ව ගියේය. කොරියානු රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින්ට සුබ පැතීම සදහා මනුෂ නානායක්කාර ඇමැතිවරයා ගුවන්තොටුපොලට ගිය අතර එහිදී ශ්‍රමිකයින් සමග අදහස් හුවමාරු කරගනිමින් මෙසේ පැවසුවේය.

    “අද සිට පන්දහස් අටසීයක් දෙසැම්බර් වන විට කොරියාව බලා පිටත්ව යැවීමට කටයුතු කරනවා. රටට විදේශ විනිමය අවශ්‍ය අවස්ථාවකදී තමයි ඔබ කොරියාවේ රැකියා සදහා පිටත්ව යන්නේ. කොරියානු රැකියා සදහා පිටත් කර යවන්නේ රජය හා සම්බන්ධ වැඩපිළිවෙලක් ලෙසයි. ඔබලා කොරියාවට ගිය පසුව හොදින් රැකියාව කර ලංකාවට ලැබෙන රැකියා අවස්ථා ප්‍රමාණය වැඩි කරන්න.
    මේ වෙලාවේ අපි තෙල් පෝලිම්වල ඉන්නවා. බෙහෙත් නෑ. විදුලිය කපනවා. මේවා විසදන්න ලෝකයෙන් ණය ගත්තොත් තවත් රට ණය කරනවා. ඒත් ඔබලා උපයන මුදල් නිවරදිව, බැංකු හරහා ගෙදරට මුදල් එව්වොත් දැනට තිබෙන ප්‍රශ්ණවලට විසදුම් සොයන්න පුලුවන්.
    මේ වන විට කොරියාවේ විසි තුන්දහසක් පමණ රැකියා කරමින් සිටිනවා. ඒ අය උපයන මුදල්වලින් රටට අවශ්‍ය තෙල් ටික මිලදී ගන්න පුලුවන්. දැන් අද උදේට තෙල් ටික ගන්නේ කොහොමද කියලා බලනවා. ඉන්ධන සදහා මුදල් ගෙවීම ප්‍රමාද වූ විට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවෙනවා. අපි මේ වෙලාවේ අනෙක් සියලුම දේවල් අමතක කරලා දාන්න ඕන. රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කරන්න ඕන. අපි වෙනම දේශපාලන මතවාදයක හිටපු අය. අපේ දේශපාලනය පැත්තකට දාලා දේශපාලන තීන්දුවක් ගත්තේ රට වෙනුවෙන් අපි කළ යුතු යුතුකම ඉටු කිරීමට අවශ්‍ය නිසයි.
    මේ වෙලාවේ ඔබත් ඔබේ යුතුකම ඉටු කරන්න ඕන. ඔබේ පවුලේ අය අතහැරලා රට යන්නේ. ඔබලා රට සිටියදී අම්මා ගෑස් පෝලිමේ ඉන්නවානම්, දරුවන්ට බෙහෙත් ටික නැතිනම් ඔබලා සැප විදලා වැඩක් නෑ. ඔබලා උපයන මුදල් නිවරදිව බැංකු ක්‍රමය ඔස්සේ එව්වොත් බෙහෙත් හිගය නැති කරන්න, අම්මලා ගෑස් පෝලිමේ ඉන්න එක නතර කරන්න පුලුවන්කමක් ලැබේවි.
    ඉස්සරහට අපි නොහිතන ලොකු ප්‍රශ්ණයක් ඇතිවෙනවා. කර්මාන්ත ශාලා වහලා දාලා යනවා. දළ වශයෙන් මිලියන දෙකක රැකියා අහිමි වෙන්න පුලුවන්. ලංකාවේ
    තියෙන කර්මාන්තශාලා වහලා දාලා ගියොත් ඒ කර්මාන්ත නැවත ලංකාවට ලැබෙන්නේ නෑ. බොහෝ කාලයක් තිස්සේ ගොඩ නගාගත් කර්මාන්ත අහිමි වෙන්නේ. හැබැයි ඔබලා ගිහින් නිවරදි මාර්ගයෙන් ඔබේ පවුලේ අයට සල්ලි එව්වොත් මේ ප්‍රශ්ණ නැති කරන්න පුලුවන්.
    තවත් අපි 58--00ක් ඉදිරි මාස හය ඇතුළත කොරියාවට යනවා. කොරියානු රැකියා අපේක්ෂාවෙන් සිටින අයගේ පීඩනයට විසදුම් ලබාදීමට අපි කටයුතු කරනවා. විදේශගතවන ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොලේදී වැඩි පිළිගැනිමක්, ගෞරවයක් ලබාදෙන ක්‍රමයක් සකස් කිරීම ගැන ගුවන්තොටුපොලේ අධ්‍යක්ෂතුමා සමග මම සාකච්ඡා කළා. විදේශගත ශ්‍රමිකයින් ගෙන එන බඩු භාණ්ඩ පරීක්ෂා කිරීම ගැන චෝදනා තියෙනවානේ. ඒ නිසා ඔවුන් කරන සේවයට පෙරලා ගෞරවයක් ලබාදීමේ ක්‍රමවේදයක් අපි සකස් කරනවා.

    කොරියාවට ගොස් රැකියා කරන ඔබ මුදල් උපයලා මෙරටට ඇවිත් ව්‍යාපාර ආරම්භ කරන්න. ව්‍යවසායකයෙක් බවට පත්වෙන්න. ව්‍යවසායකයෙක් විදියට ගොඩ නැගෙන්න. චීනය කුඩා ව්‍යවසායකයින් නිර්මාණය කිරීමෙන් පසුව තමයි දියුණුවට පැමිණියේ. ඒ වගේ ඔබලාත් නැවත මේ රටට ඇවිත් ව්‍යවසායකයින් විදියට තමන්ගේ දායකත්වය ලබාදෙන්න.

    ඔබලාගේ යුතුකම හරියට ඉටු නොකළොත් හෙට අනිද්දා මේ රටේ මිනිස්සු කන්න බොන්න නැතිව මැරෙන්න පුලුවන්. අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන පිට රටවලට ගිහින් සත පහක්වත් එවන්නේ නැති අය ඉන්නවා. එහෙම සමහර අය මෙහේට සත පහක්වත් එවන්නේ නැතිව රට හදන හැටි ගැන කතා කරනවා. හැබැයි ඔබලා එහෙම ඒ රටවල පදිංචි වෙන්න යන අය නෙමෙයි. ඔබලා නැවත මේ රටට එනවා. මේ රට තියෙන්න ඕන ඔබලා වෙනුවෙන්. මේ රටේ මිනිස්සු කන්න බොන්න නැතිව ගහ මරාගත්තොත් ඔබට රටක් ඉතිරි වෙන්නේ නෑ. තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල කී දෙනෙක් මැරිලා වැටුනාද. දැන් අරයා ඉන්නකම්, මෙයා ඉන්නකම් ඩොලර් එවන්න එපා කියලා සමහරු කියනවා. අරයා යනකම් අපේ අම්මා ගෑස් පෝලිමේ තියන්න පුලුවන්ද. අපේ අම්මා තාත්තා බෙහෙත් නැතිව මැරෙන්න දෙන්න පුලුවන්ද? අපිට අහවලා තියාගන්න, අහවලා බේරා ගන්න කියලා ප්‍රශ්ණ නෑ. අපි දේශපාලනය කරන්නේ නෑ. අපිට පක්ෂයක් නැතිව තමයි මේ දේ කරන්නේ. අපි හැමෝම අපේ රට ගොඩ දාන්න එකතුවෙමු. රට වෙනුවෙන් අපිට කරන්න පුලුවන් යුතුකම ඉටු කරන්න කියලා වැදලා ඉල්ලනවා.”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya