අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ආහාර ආරක්ෂණ දිනය අදයි

    ජූනි 07, 2022


    ලෝක ආහාර ආරක්ෂණ දිනය සෑම වසරකම ජුනි මස 07 වනදාට යෙදී ඇත.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රථමයෙන් මෙම දිනය නම් කරන ලද්දේ 2018 වසරේදීය. 2022 දී එනම් මෙම වසරේ ලෝක ආහාර ආරක්ෂණ දිනයෙහි තේමාව වන්නේ “යහපත් සෞඛ්‍ය සදහා ආරක්ෂිත ආහාර” යන්නයි.

    ලෝකයේ ආහාර ආරක්ෂණ දිනය සූදානම් කර ඇත්තේ ආහාර අවධානම් වැළැක්වීම, හදුනාගැනීම සහ කළමනාකරණය කිරීම මෙන්ම සෞඛ්‍ය වැඩිදියුණු කිරීම යන තේමා යටතේය. ආහාරයක් ඔ්නෑම අවස්ථාවක දූෂණයට ලක්විය හැකියි. එනම් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්විය හැකියි.

    මේ සම්බන්ධයෙන් ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය තුළ පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර ආරක්ෂණ ඒකකය නමින් විශේෂිත ඒකකයක් පිහිටුවා ඇත. මෙම ඒකකය යටතේ විශාල රාජකාරී රාශියක් සිදුකරන අතරම ආහාර ආරක්ෂණය සම්බන්ධයෙන් කතිකා කරන ඒකකය වන්නේද මෙයයි.

    1980 අංක26 දරණ ආහාර පනත යටතේ මෙම ඒකකය කටයුතු කරයි. මෙම ආහාර පනත ඉතාම ප්‍රභල පනතක් වන අතර මෙම පනත යටතේ ආහාර ගොවිපොළේ සිට කෑම පිගාන දක්වා පැමිණෙන ඔ්නෑම අවස්ථාවකට ගැලපෙන ආකාරයට රෙගුලාසි සෑදීමේ හැකියාවක්ද මෙම පනත සතුව පවතී.

    මෙම පනත යටතේ ඇතුළත් කරන ලද රෙගුලාසි අනූව සෞඛ්‍ය අමාත්‍යංශයෙහි පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර ආරක්ෂණ ඒකකය ආහාරආරක්ෂණය ලබාදෙන අතර ඒ සඳහා මෙම ඒකකයේ සමහර කොටස් දිවා රෑ නොබලා කටයුතු කරයි.

    මෙම ඒ්කකය කොළඹ පැවතියද මුළු දිවයින පුරාම ඒකකයේ බලය ලත් නිලධාරීන් සිටියි. එම බලයලත් නිලධාරීන් වනුයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ආහාර ඖෂධ පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමහර අවස්ථා වල ආහාර බලධාරීන් හැටියටද ක්‍රියා කරයි.

    මෙම පනතේ ප්‍රධාන ආහාර බලධාරියා වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයායි. ඊට අමතරව වෙනත් දෙපාර්තමේන්තු පවා ආහාර බලධාරීන් ලෙස කටයුතු කරයි. නමුත් මෙහිදී බලය ලත් නිලධාරීන් ලෙස විශේෂයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ආහාර ඖෂධ පරීක්ෂකවරුන් කටයුතු කරයි.

    එම පුද්ගලයින් අදාල ක්ෂේත්‍රයේදී මහජනතාවට මෙම සේවය ලබාදීමට එනම් ආහාර ආරක්ෂණය ඇති කිරීමට ප්‍රභල ලෙස කැපවී කටයුතු කරයි. ගම් මට්ටමේදී මෙලෙස කටයුතු කිරීමේදී කොවිඩ් කාලයේ පවා ඔවුන් කැපවීමෙන් දැඩි ලෙස රාජකාරී වල නියැලී ඇත. විශේෂ වැටලීම් සිදුකරමින්, නිවැරදි කිරීම් සිදුකරමින් මෙන්ම ඇතැම්විට නීතිමය ක්‍රියාමාර්ග පවා ගෙන ඇත.

    මෙම අවස්ථාවන් වලදී ක්ෂේත්‍රයෙදී ආහාර වල සාම්පල ලබාගෙන අනුමත රසායනාගාර වලදී පරීක්ෂා කර ඒ අනූව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හෝ අනෙකුත් නිවැරදි කිරීම් හෝ අවශ්‍ය පියවර ගැනීම සිදුකරයි.

    මෙවර ආහාර ආරක්ෂණ දිනය වෙනුවෙන් අදාල නිලධාරීන්ට විශේෂිත ක්‍රියාකාරකම් සිදුකිරීමට උපදෙස් ලබාදී ඇත. සාමාන්‍යයෙන් අප රටේ වසරකට දෙවරක් එනම් සිංහල අවුරුද්දට සහ නත්තලට පෙර විශේෂිත ආහාර ආරක්ෂණ සති පවත්වනු ලබයි.

    එම සති වල මෙන්ම අනෙක් සෑම අවස්ථාවකම නිලධාරීන් ආහාර ආරක්ෂණය වෙනුවෙන් රාජකාරී සිදුකරයි. මෙවර තේමාව යටතේ බලාපොරොත්තු වනුයේ මහජනතාව බලවත් කිරීමයි. ඒ සදහා මෙතෙක් සිදුකළ ක්‍රියාවලි තවදුරටත් ප්‍රභල කරමින් වැඩි තීව්‍රතාවයකින් කරගෙන යාමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාල නිලධාරීන්ට උපදෙස් නිකුත් කර ඇත.

    ලිපිය සදහාකරුණු ඊයේ (06) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුව ඇසුරිනි.

    ඔබේත් මගේත් යහපත් සෞඛ්‍ය මෙන්ම යහපැවැත්ම සදහා ආරක්ෂිත ආහාර කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමු...

     

    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya